බුදුන්වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්‍රස්තුත කරගත් නවකතා පොත් දෙකක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශනයට පත්ව තිබේ. සිංහල නවකතාව “පරපුරක ජීවක” නම් වන අතර “Buddha’s Physician” එහි ඉංග්‍රීසි නවකතාවයි.
ද්විභාෂා ලේඛනයේ යෙදෙන සම්මානිත ලේඛක අජන්ත සෙනෙවිරත්න විසින් මෙම පොත් ද්විත්වය ලියා ඇත. ඒවායේ නිල ජනගත කිරීම මාර්තු මස 05වන දා සවස 4.00ට ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට නියමිත ය.
කෘති ද්විත්වය ලියුවේ ඇයි...?
මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක කෝමාරභච්ච යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකකි. ජීවක චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති වුවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසා ම එතුමන් වටා මෙම පොත ලියූ බව අජන්ත සෙනෙවිරත්න පවසයි. ජීවක යනු හුදෙක් වෛද්‍යවරයෙක් පමණක්ම නොවේ; ඔහු ශාරීරික සුවය සහ අධ්‍යාත්මික පිබිදීම එකට යා කළ පාලමකි. වර්තමාන “ජීවක” වෙදැදුරෙක් සොයා කෙරෙන ගවේෂණයක් ලෙසින් මෙම නවකතා දිග හැරේ.
තෙවරක් ඔටුනු පැලඳි වෛද්‍යවරයා
සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව බඳු එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්‍රතිකාර ක්‍රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා ගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයින් ඔහුව සලකන්නේ සියලු පුරාණ වෛද්‍යවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයනට අනුව, ජීවක විසින් සිදු කරන ලද වෛද්‍ය ප්‍රාතිහාර්යය හේතුවෙන් ඔහුව "වෛද්‍ය රජු" ලෙස තුන් වතාවක් එවකට රාජසභාව විසින් පිළිගෙන නම් කරනු ලැබ ඇත. එබැවින්, "තෙවරක් ඔටුනු පැලඳි වෛද්‍යවරයා" ලෙස ද ඔහුව හැඳින්වේ.
භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම
නූතන වෛද්‍යවරුන් අද සනාථ කරන මූලික සිද්ධාන්තයක් වන “රෝගී මනසක් නීරෝගී සිරුරකට බාධා පමුණුවයි” යන්න එදවස ජීවක මනා කොට අවබෝධ කර ගෙන සිටියේය. ශාරීරික රෝග බොහෝ විට මානසික අවහිරතා සමඟ බැඳී ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. ප්‍රතිකාර කරන විට ඔහු ඖෂධ පමණක් නිර්දේශ කළේ නැත; එළඹ සිටි සිහියෙන් සිටීමට ද නියම කළේ ය. ජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්‍යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්‍යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නීරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්‍යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.
සම්භාවනීය කලාකරුවන් රැසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මාර්තු මෙම උළෙලේ දී පූජ්‍ය පානදුරේ ආනන්ද හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය රාජ් සෝමදේව සහ වෛද්‍ය පණ්ඩිත් වජ්‍ර සේනානායක යන අය අදහස් දැක්වීමට නියමිත ය.


