ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී පෙරේදා (17) ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණියා ය.
ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී ආචාර්ය ජෝර්ජිවා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමු වූවා ය.
වත්මන් විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ පෙර නොවූ අන්දමේ ආර්ථික දුෂ්කරතාවෙන් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වෙමින්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහා ක්‍රියාකාරීව පහසුකම් සැලසීම වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂිකාවට සහ ඇයගේ කණ්ඩායමට මෙම හමුවේ දී අධිපතිවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේ ය.
එමෙන් ම මුදල් ප්‍රතිපත්ති සහ ආකෘතිකරණය, සාර්ව විචක්ෂණ විශ්ලේෂණ සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලබාදුන් පුළුල් තාක්ෂණික සහාය වෙනුවෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ද සිය ස්තූතිය පුද කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය සාර්ථක අත්දැකීමක් බවට ආචාය ජෝර්ජිවා ප්‍රකාශ කළා ය.
ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට සාර්ව ආර්ථික ස්ථායිතාව ප්‍රකෘතිමත් කිරීම සඳහා මහ බැංකුව ඉටු කළ කාර්යභාරය ද කළමනාකාර අධ්‍යක්ෂිකාව ගේ ඇගැයීමට ලක් විය. මෑත වසරවල දී ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුබෑම් පිළිබඳව සඳහන් කරමින්, අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවට ඇය විශ්වාසය පළ කළා ය.
ජේ.මුණසිංහ


