ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නන්දන ගුණතිලක විසින් පසුගිය දා කළ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද දින උත්තර බැඳ තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බව නන්දන ගුණතිලක පසුගියදා කල ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව තිබේ.
කොමිසමට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙම අපහාස කිරීම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමග යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි ක්‍රියා තුලින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතර ම, දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදු කරන කටයුතු නීත්‍යානුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.
''අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපෙ නීති කමිටුවේ හිටපු කෙනෙක්. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන'' - නන්දන
අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මීට දශක දෙකකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු බවත් එම කමිටුව කැඳවූයේ එවකට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වූ තමන් විසින් බැවින් තමන් මේ පිළිබඳ හොඳින්ම දන්නා බවත් පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.
“අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා මේක විසඳාගන්න බැහැ. ඒකට දාලා තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ ඉඳපු කෙනෙක් තමයි අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. මම පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැම්මේ වටගලව. ඒකෙ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නෙ. මාව ගෙනියන්න කියන්න ඕනෙ තැනකට, මං ළඟ තියෙනවා අත්සන් ලේඛන. අත්සන් කරපුවා. ගෙනියන්න කියන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම මිනිස්සුන්ව දාගත්තෙ ඇයි ? මේවා යටගහන්න. දැන් මේවා ඇදෙනවානෙ. අර දුෂණ විරෝධී පනත යටතේ අනිවාර්යයෙන්ම මේවා එළියට එනවා කියලා දන්නවානෙ. ඒ නිසා මේ රවීලා, ශානිලා, රංගලා, දැන් අර රේගුවටත් එක්කෙනෙක් දැම්මානෙ. ඔය ඔක්කොම දාගත්තෙ මේ ටික වහගන්න”
නන්දන ගුණතිලක මේ බව පැවසුවේ පසුගියදා (සැප්තැම්බර් 25) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.