Language Switcher

Ad

Ad 01

V2025

ශෂින්ද්‍ර රාජපක්ෂගේ ඇප ප්‍රතිශෝධන අයදුම්පත ඉල්ලා අස්කර ගනී

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කළ චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.