දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 104කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් 4623 දෙනෙකු පිඩාවට පත්ව සිටී.
ආපදාවලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒහි ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවේ ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.
ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු සදහා ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවයි.
කාලගුණ තත්ත්වය
අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.