Language Switcher

V2025

රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට ශක්තිය දීමට භික්ෂූන්වහන්සේලා පෙරමුණ ගත යුතුයි - දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

වෛරය, ක්‍රෝධය ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනපතිට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතු යැයි දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, වෛරය, ක්‍රෝධය, ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට එතුමාට නියත වශයෙන්ම අවස්ථාව ලබාදිය යුතු බවත් මේ සඳහා භික්ෂූන් වහන්සේ පෙරමුණ ගෙන ඉදිරියට පැමිණිය යුතු වුවත්, ඇතැම් භික්ෂූන් වහන්සේ ගෙන යන වැඩපිළිවෙළ මේ රටේ බුද්ධ ශාසනය විනාශයට හේතුවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද පතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල, උළුවිටිකේ කාර්යාල භූමියේ පෙරේදා (14) පැවැති විශේෂ සඝ සමුළුවකට හා ජය පිරිත් සජ්ඣායනයකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ මෙසේ ද පැවසූහ.

“මෙම සංඝ සමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතායි. එතුමාගේ සිරිතක් තිබෙනවා. ඒ රටේ වටිනා කාර්යයක් සිද්ධ කෙරෙනකොට විශේෂයෙන්ම එතුමා දේශපාලන වශයෙන් තීරණාත්මක වැඩ කටයුත්තක් සිද්ධ කරනවිට පින්වත් මහ සඟරුවන දහස් නමක් මේ නි‍ෙවසට වඩමවලා සඟ සතු මහා දානමය පින්කමක් ඉෂ්ට සිද්ධ කරලා තමන්ටත්, රටේ සියලු නායකයන්ටත් ආශීර්වාදය ලබා ගන්නවා. එය විශේෂත්වයක් හැටියටයි මම දකින්නේ. ඒ විතරක් නෙමෙයි එතුමා නිරන්තරයෙන්ම මේ මහ සඟවන සමඟ ගැවසෙනවා. මම හිතන්නේ එහි ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා.

මෙවන් මොහොතක අපේ නායක හාමුදුරුවන් වහන්සේලා නිර්භීතව වැඩමවීම සම්බන්ධයෙන් මම ඔබවහන්සේලාට පළමු කොට ස්තූතිවන්ත වෙනවා. මේ මොහොත අංශ කිහිපයකින් අපිට බොහෝම වැදගත්. මම හදිසියේ කියවන්නට යෙදුණා බුදුන්ගේ සමාජවාදය කියලා පොතක්. ඒ පොත රචනා කරලා තියෙන්නේ කැනඩාවේ පදිංචි සුනීතා කියලා නෝනා මහත්මියක්. එතුමිය කැනඩාවේ දහම් පාසල් එහෙමත් කරනවා. ලංකාවට පැමිණි විටත් විශේෂයෙන්ම ‘චරිත භික්ඛවේ චාරිකං’ යන පාඨය මුල් කරගෙන එතුමිය විවිධ විග්‍රහ ඉදිරිපත් කරනවා.

අපි මහණ කරන්න ඇබිත්ත දරුවකු හොයා ගන්නේ බොහොම අමාරුවෙන්. ඒ දරුවා පන්සලට ගෙනවිත් අධ්‍යාපනය ලබාදීලා ඒ දරුවගේ කරට සිවුරු පටිය පලන්දවලා මහණභාවයට පත් කරලා අපේ පිරිවෙන් තුළ හොඳ ශික්ෂණයක් ඇතිව අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ දරුවා පැවිදි කරලා කුඩා නමක් හැටියට අධ්‍යාපනය දීලා ඉහළට ගේන්න හැම කැපවීමක්ම කරනවා. අවසානයේදී නායක හාමුදුරුවනේ ඉහළ අධ්‍යාපනයකට යොමුවුණු තැන, මගේ හාමුදුරුවන්ට ඒ ගෝල නම ඉන්නව ද? මගේ හාමුදුරුවන්ගේ මතවාදයට ඒ ගෝලයා අනුකූලයි ද? ඔබවහන්සේලාගේ රත්තරං දායකාදීන් අපේ පුංචි හාමුදුරුවෝ කිය කියා තමන්ට වළඳන්න තිබෙන දේට වඩා දහ දොළොස් ගුණයකින් ඒ දානය පිළියෙල කරගෙන ඇවිල්ලා මේ පොඩි හාමුදුරුවන්ට වළඳවනවා. පොඩි හාමුදුරුවෝ ශක්තිමත් කරලා, මගේ ගම බාරගන්න, අපේ සතර පේරුව භාරගන්න, මගේ හාමුදුරුවෝ වඩින්න ඕන කියලා ඉහළ අධ්‍යාපනයට යවන පොඩි හාමුදුරුවන් වෙසක් පෝයටවත් ගමට වඩිනව ද? ලොකු හාමුදුරුවන්ගේ ලියුම් කැබැල්ලට පිළිතුරක් තිබෙනවද? මට අසනීපයි කියලා කෝල් එකක් දුන්නම උන් වහන්සේ වඩියි ද?

හාමුදුරුවනේ ඒ වෙනස සිද්ධ කළේ කොතැනදි ද? ඉතිහාසය පුරාවට වාම දේශපාලනය ඉතාමත් නරක පැතිකඩකට ගිහිල්ලා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි හදාගන්න අපේ පුංචි හාමුදුරුවෝ අපට අවනත නොවන තැනකට ගෙනවිත් තිබෙනවා.

පහුගිය කාලයේ භික්ෂුව වෙනුවෙන් අපේ රටේ තිබුණු ප්‍රබලතම ආයතන, රත්තරන් හාමුදුරුවනේ ඔබ වහන්සේලා සමහරක් වෙලාවට හැදුණා වැඩුණා විතරක් නෙමෙයි, පරිවේණාධිපති තනතුරු ගොඩනගන්නට මූලික වුණු පිරිවේණාධිපති වහන්සේලා නිර්මාණය කළ අධ්‍යාපන ආයතනය අද කෝ? මේ රටේ අපේ භික්ෂූන් වහන්සේලා මහ රහතන් වහන්සේ නමක් කරනවා කියලා ගොඩනගපු අපේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වුණු අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ආයතනය අද මේ මොහොතේත් වසා දමන්න ස්ට්‍රයික් කරනවා. අපි උත්සාහ කළේ එතැනට යන භික්ෂූන් වහන්සේ, රහතන් වහන්සේ නමක් කරන්නයි. නමුත් කොතනින් ද මේ දරුවන්ගේ හිත් වෙනස් කරන්නේ?

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මොනතරම් අපේ තරුණ හාමුදුරුවරුන් වෙනස් වුණා ද? උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය තුළ අපේ උපකුලපතීන් වහන්සේ පින්වත් ආචාර්ය ස්වාමීන් වහන්සේලා කියන දේට අවනත වුණා ද? කොතනින් ද මේක සිද්ධ කළේ? අපේ විනය පිටකයෙන් ද? අපේ සූත්‍ර පිටකයෙන්ද? අපේ අභිධර්ම පිටකයෙන් ද එහෙමත් නැතිනම් වෙනත් තැනකින් ද? මගේ ශ්‍රී ලංකා දේශය තුළ වැඩ ඉන්න මගේ ශ්‍රීමත් නායක ස්වාමීන් වහන්සේලා මෙහෙම නිදිමත ඇතිව වැඩ කරලා බෑ. ‘දැන් අපි තැනකට ආවා, අපිට ඕවා නෑ, අපි ඕවට නෑ” කියලා ඉන්නවට වඩා අපේ මේ රත්තරන් තරුණ හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්නට අවශ්‍යයි.

1986, 87, 88, 89 කාලය තුළ තරුණ හාමුදුරුවන් වහන්සේලා අපවත් වුණු ප්‍රමාණය මට මතකයි. මම එදා ඒ පින්තූර එකතු කරමින්, එක්තරා සංවිධානයක් හරහා උන් වහන්සේලාගේ මානව අයිතීන් පිළිබඳව කටයුතු කරන්නට කැපවුණා. ඒ කැපවීමට 1336 නමකගේ නම් එකතු වුණා. ඒ දේවල් කවුරු කළත් එතැනට මේ රට ගෙන ගියේ කවුද? එතැනට මිනිස්සුන්ගේ මනස් විකෘතිය ගෙන ආවේ කවුද? මේවා ගැන අපි බොහොම ගැඹුරින් හිතන්න අවශ්‍යයි.

ඒ නිසා නායක හාමුදුරුවනේ, සිවුරු හැර ගිය අපේ ස්වාමීන් වහන්සේලාගේ සංඛ්‍යාව ගැන ඔබවහන්සේලා හිතුව ද? මේ සංඝ සමාජය තුළ අපේ ස්වාමීන් වහන්සේලා අතළොස්සක් වැඩ ඉන්නවා. නමුත් කොයි තරම් සංඛ්‍යාවක් සිවුරෙන් ගියා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි තැන බුද්ධාගම ගැන සඳහන් වෙලා තිබෙනවා. සඳහන් වෙලා නම් තියනවා තමයි, නමුත් සිවුරක්වත් හම්බවෙන්නේ නැහැ. ඒ දේ අපේ රජයෙන් සැබෑවටම සිද්ධ වෙන්න ඕන. ඒ ක්‍රියාත්මකභාවය අපි ඉදිරියට හදාගන්න අවශ්‍යයි. එය බලවත් කරගන්නට අවශ්‍යයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබෙනවා, නමුත් එහි සිටින අය හාමුදුරුවන් වහන්සේලා දන් වළඳන වේලාව දන්නේ නැහැ. නමුත් අධිකරණ සංඝනායක හාමුදුරුවන් වහන්සේ නමක් අපවත් වුණාම මල් වඩමක් දෙන්න වැඩපිළිවෙළක් නම් තියෙනවා. ඒක පෙට්ටිය ගත්තම මල් ශාලාවෙන් නිකං දෙනවා. ඒකට අමාත්‍යාංශයක් ඕන නැහැ.

මෙවැනි වෙලාවක තමයි අපේ දහම් පාසල්වලටත් මම අර ඉහතින් සඳහන් කළ කාරණා ගෙනවිත් අපේ දහම් පාසල් දරුවන්ගේ හිතුත් දූෂණය කරන්න හදන්නේ. මේ සමාජය තුළ ගොඩනැ‍ඟෙන ඇතැම් වාමවාදී මත, සමාජවාද මත, බුදුහාමුදුරුවන්ගේ සාංඝික න්‍යාය තුළ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. දෙපයක් තිබෙන මනුස්සයෙක් එක කකුළක් තිබෙන මනුෂ්‍යයෙක් එක්ක සමාන කරන්නේ කොහොමද? කවදාවත් කාල් මාක්ස්, ලෙනින්ලාගේ, පසුකාලීනව ස්ටාරිලින්වාද හරහා එහෙමත් නැත්නම් අපේ ඔය කිසිම කෘතියකින්වත් ගේන මත ගැළපෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය ඊට එහා තියෙන්නේ. අපේ ජීවිතය ලෝකෝත්තර ධර්මය වගේම බෞද්ධ සංකල්පයක් එක්ක තියෙන්නේ. මේ නිසයි අපි මේ මොහොතේ මේ කාර්යයන් ගැන හිතන්නේ. එතැනදි අවනත වීම සහ අනාගමික යන කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.

අපේ රට හරිම වාසනාවන්තයි. ඇයි ඒ? අපේ රටේ කවර ජාතිකයෙක් උපත ලැබුවත් ඒ උපදින කෙනාට උපදිනකොටම ආගමක් තිබෙනවා. දකුණු කොරියාවට ගියාම අපිට පේනවා අම්මා අප්පච්චිගෙන් ඇහුවොත් කියන්නේ අපේ දරුවන්ට ආගමක් නැහැ කියලයි. අපේ ළමයි ආගම් අදහන්නේ නැහැ. අපිට නම් ආගම් තිබෙනවා. නමුත් මේගොල්ලන්ට නැහැ. නීතියයි ආගමයි හින්දා තමයි මේ ඩිංගහරි මේ රටවල් මෙහෙම පවතින්නේ. මේ ආගමත් දහමත් දෙක නැති වූ කල මිනිසා තරම් නරක සත්ත්වයෙක් මේ ලෝක ධාතුව තුළ නැති වේවි. ඒ නිසයි අවබෝධය තිබෙන්නට ඕන.

ඒ නිසයි අපි මේක අත්හරින්නේ නැත්තේ. ඒ නිසයි අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට මුල්තැන දී තිබෙන්නේ. නමුත් ඒ කාලේ නොතිබූ දේවල් දැන් වෙන්න යනවා. යටත්විජිත කරගෙන, කරන්න බැරි වෙච්චි දේ අපේම අය ලවා සිද්ධ කරන්න යනවා. ගහපු කොළ කෑලි අරන් ගෙන්ගෙට යාම නෙමෙයි, “චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තායතාව සුඛාය දේව මනුස්සානං“ කියන්නේ. හැබැයි අන්න අර සුනීතා මැඩම්ලා ලියපු පොත්වල තියෙන්නේ අපේ තරුණ හාමුදුරුවරුන්ට එවැනි අදහසක්.

ඒ නිසා පින්බර අම්මේ, ඔබ තවම නිවෙසේ උකස ගෙවාගන්න බැරිව දුක් වෙනවා. දරුවා රැවුල කොණ්ඩය වවාගෙන පාරේ විමුක්තිවාදියෙක් ලෙස යන්න යනවා. හිතන්න, ඒ නිසයි මගේ රත්තරන් හාමුදුරුවනේ අපි පෙරමගට වැඩම කළ යුත්තේ. ඒ නිසා මේ මොහොතේ මේ උතුම් පරිත්‍රාණ ධර්මානුශාසනා සමඟ අපි මේ රටට අවශ්‍ය කරන ආරක්ෂකභාවය වෙනුවෙන් ශක්තිය ලබාදෙන්නට අවශ්‍යයි.

පින්වත් හාමුදුරුවනේ, දැනටමත් මෝටර් සයිකල් එනවා. තැනක කොතැනක හරි කාර්යාලයක් ආරම්භ කරනවා නම් ඒ තැන්වලට ඇවිල්ලා, අක්කේ, අයියේ මේ බලාගමු 21 වෙනිදයින් පස්සේ බලමු, කියලා කියනවා. මේ විතරක් නෙමෙයි ආක්‍රමණශීලී පහරදීම් සිද්ධ වෙනවා. සමාජය තුළ මහා කෲරත්වයක් ඇති කරමින් තිබෙනවා. අද අපේ රටේ යමක් උපයා සපයා ගන්නා මිනිහා බිය ගැන්වෙලා. ඒ මනුස්සායා මේ රටින් එළියට යන්න හදනවා”