වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවට IMF කොන්දේසියක්

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවට IMF කොන්දේසියක්

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී අද (16) පැවසීය.

වැල් පාලමේ අභියෝගයෙන් පැනගිය අනුර- සජිත් නමැති නතාලියාලා දෙදෙනාට අයි.එම්.එෆ් කොන්දේසි ඉටුකළ හැකිදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ වැඩපිළිවෙළ හොඳින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ තමා ප්‍රමුඛ රජයකට බවද අවධාරණය කළේය.

"ඔබ හැම දෙනාම හුණුවටයේ කතාව දන්නවා. තාම අපි ඉන්නේ වැල් පාලමේ. තව ටිකක් යන්න තියෙනවා. පාලම හෙලවෙනවා. එම ගමන ස්ථිර කිරීම සඳහා අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වී සිටිනවා.

වැල් පාලමෙන් එගොඩට එන විට හුණුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා.

ඔවුන් දෙන්නාම පැනල ගිය නතාලියාලා. ඒ අයට කිසිම අදහසක් නෑ. හිතුමතේ බදු අඩු කරන බව කියනවා. මමත් බදු අඩු කරන්න කැමතියි. නමුත් අයි.එම්.එෆ් ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ. රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා.

හිතුමතේ වැඩ කරන්න මේ කිසිවකුටත් අයි.එම්.එෆ් එකෙන් බලය ලැබෙන්නේ නෑ. ඉතින් මේ අය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? ඔවුන් අර්බුද හමුවේ පැන ගිහින් අදහසක් නැතුව හිටියේ.

නව ආණ්ඩුවට අයිඑම්එෆ් සංවිධානයෙන් කොන්දේසි තුනක් පනවා තිබෙනවා. පවතින රජය ගෙනයන වැඩසටහනේ අරමුණු ආරක්ෂා කිරීම, එමෙන්ම ඒ වැඩකටයුතු සාක්ෂාත් කර ගැනීම, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම යන කොන්දේසි අයිඑම්එෆ් සංවිධානය විසින් පනවා තිබෙනවා. ඉතින් නතාලියාලට මේ කොන්දේසි ඉටු කරන්න පුළුවන්ද?

මූල්‍ය අරමුදල කියන්නේ අපේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ලෙසයි. මේ ස්ථාවර බව ඇතිකොට රට ඉදිරියට ගෙන යාම සඳහා මා මේ ජනවරම ඉල්ලනවා. ඒ මගේ අනාගතය තහවුරු කර ගැනීමට නොව ඔබේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා" යැයි ජනාධිපතිවරයා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න