Language Switcher

V2025

ස්ථාවර ආර්ථිකයක රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීති රැසක් මේ වන විටත් හඳුන්වාදී අවසන් !

ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බවත් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.

එම සෑම පියවරක්ම ගනු ලැබූවේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමට බව ද පෙන්වා දුන් ඒ මහතා මහබැංකු පනත, රාජ්‍ය මුල්‍ය පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන අතර ආර්ථික පරිවර්තන නීතිය ද සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබඳ තාක්ෂණික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සාර්ථකව අවසන් කෙරෙමින් පවතින බව සඳහන් කළ සාගල රත්නායක මහතා මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟම එමඟින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ද පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  මෙසේ ද පැවසීය,

“අපේ අනාගත පරපුර රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කරගැනීම සඳහා මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම පිළිබඳ පළමුවෙන්ම මගේ ස්තූතිය පිරිනමනවා. මේ ව්‍යාපෘතිය තාක්ෂණය අතින් ඉතා විශේෂ ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි. ඒවගේම මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කළ යුතුයි.

පළමුවැන්න ලෙස ඉතාමත්ම කාර්ය බහුල වරාය පරිශ්‍රයක් හරහා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සිදුවුණා. මෙම වරාය පරිශ්‍රය තුළ දැනට පවතින ඉඩකඩ ද ප්‍රමාණවත් නැහැ. ඒ තත්ත්වය තුළ වුවත් මේ ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට සිදුවුණා. වරාය මෙහෙයුම් කටයුතු කිසිවකට හානියක් නොවන අයුරින් මේ වැඩපිළිවෙළ සකස් කර මෙම ව්‍යාපෘතිය කළා. එහිදී වරාය මූලස්ථානය පවා වෙනත් ස්ථානයකට ගෙන යාමේ කටයුතු ද ආරම්භ කළා. ඒ සියල්ල සිදුකරමින් 2019 වසරේදී මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.

2020 වසරේ ඇතිවූ කොව්ඩ් වසංගතය මඟින් ඇතිවූ බලපෑම ද පාලනය කරගනිමින් මෙහි ඉදිකිරීම් සමාගම එම කටයුතු සාර්ථකව ගෙන ගියා. ඉන්පසුව ඇතිවූ ආර්ථික අර්බුදය අනෙක් සියලු කාරණාවලට වඩා මෙම ව්‍යාපෘතියට බලපෑමක් එල්ල කළා. විදේශ විනිමය හිඟය වැනි කරුණු මේ සඳහා දැඩි ලෙස බලපෑවා. නමුත් අද වන විට විශාල ප්‍රමාදයකින් තොරව මෙම ව්‍යෘපෘතියේ වැඩකටයුතු සාර්ථකව අවසන් කෙරෙමින් පවතිනවා. ඒත් සමඟම මේ හරහා අපේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා.

දශක තුනකට පමණ පෙර සැලසුම් කරන ලද අධිවේගී මාර්ග පද්ධතියක් අපට තිබෙනවා. විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් වූවද අප ක්‍රමක්‍රමයෙන් මෙම කටයුතු සිදුකරගෙන යනවා. මේ වන විට මෙම සැලැස්මේ බොහෝ කොටස් ඉදිවෙමින් පවතින නමුත් අපට මෙහි වැදගත්ම කොටස අතහැරී තිබෙනවා. ඒ මෙම සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කරනු ලබන වටරවුම් පද්ධතියයි. ඒ මඟින් නගරය තුළටත් ඉන් පිටතටත්, නගරයේ කටයුතුවලට බාධාවක් සිදු නොකරමින් නගරයට හරහා ගමන් කළ යුතු වාහන පිටතට ගෙනයනු ලබනවා. එම පද්ධතියේ එක් වැදගත් කොටසක් බවට මෙම කණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පත්වෙනවා.

විශේෂයෙන්ම කොළඹ වරායත්, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළත් අතර පවතින රථවාහන තදබදය මෙම අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙනවා.

රථවාහන තදබදයක් පවතින විට ඒ සමඟ ප්‍රමාදය ඇතිවෙනවා. ප්‍රමාදය කියන්නේ මුදල්. ඒ ප්‍රමාදය මඟහරවා ගැනීම සඳහා අප අපගේ සැපයුම් මධ්‍යස්ථාන නගරයෙන් පිටතට ගෙනයනවා. ඒ කියන්නේ යළිත් කාලය සහ මුදල් වැයවෙනවා. මෙම අධිවේගී මාර්ග භාවිතය කාලයත් මුදලත් අපතේ යාම වලක්වා ගැනීමට හැකිවෙනවා. නමුත් අප කොළඹ නගරය සැලකුවහොත් අනාගත සංවර්ධනයට ඉඩකඩ වෙන් කරමින් නගර සංවර්ධන කටයුතු නිසිලෙස සිදුව නැහැ. මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල මාර්ග පද්ධතිය සැලකුවහොත් එම මාර්ග පුළුල් කිරීම සඳහා ඉඩක් වෙන් කර තබමින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙනවා. නමුත් කොළඹ නගරය පැරණි නගරයක් නිසා එවැනි තත්ත්වයක් නැහැ. ඒ වගේම නගර සංවර්ධනයේදී කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කළ නිසා මෙවැනි ඉඩකඩක් පවත්වාගෙන ගොස් නැහැ. එනිසා අද අප කොළඹ නගරය තුළ විශාල රථවාහන තදබදයකට ලක්වී තිබෙනවා.

අධිවේගී මාර්ග පද්ධතියකින් පමණක් මෙම ගැටළුව විසඳාගැනීමට හැකියාවක් නැහැ. මාර්ග පද්ධතියකට පමණක් සීමා වුවහොත් මෙම ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ද නැහැ. මේ සඳහා අධිවේගී දුම්රිය පද්ධතියක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුයි. දැනට පවතින දුම්රිය පද්ධතිය දියුණු කරනවාද, කණු මත දිවෙන දුම්රිය පද්ධතියක් ඉදි කරනවාද නැතහොත් උමං දුම්රිය මාර්ගය පද්ධතියක් වෙත යොමුවෙනවාද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතු වෙනවා. එහිදී සුදුසුම ක්‍රමවේදය උමං දුම්රිය මාර්ග පද්ධතිය වූවත් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවෙනවා. ඊට සාපේක්ෂව කණු මත දිවෙන දුම්රිය පද්ධතියක් සඳහා වැයවන පිරිවැය අඩුයි.

වියදම් අඩුම ක්‍රමවේදය වන්නේ දැනට පවතින දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීමයි. දුරදිග බලා අප විසින් සිදු කළ යුතු සුදුසුම ක්‍රමවේදය කුමක්ද යන්න විශේෂඥයින් විසින් තීරණය කර අපට ලබාදිය යුතුයි. එවගේම එය වාණිජමය කටයුත්තක් බවට පත්කරගන්නේ කොස්ද යන්න පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ වියදම පියවාගන්නේ කෙසේද යන්න පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතුයි. එය සිදුකළ යුතු වන්නේ ප්‍රවේශ පත්‍ර මඟිනුයි. නමුත් අපේ ජනතාවගේ වත්මන් ආදායම් තත්ත්වය තුළ එම වියදම ඇතුළත් ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. අප ඒ තත්ත්වයට ගමන් කළ යුතු නමුත්, ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. එනිසා අප මේ පිළිබඳ අලුත් ක්‍රම සොයාබැලිය යුතු වෙනවා.

හොංකොං වල සිදුකළේ දුම්රිය ස්ථාන සහිත ඉඩම් රජය විසින් උමං දුම්රිය පද්ධතිය සංවර්ධනය කළ ආයෝජකයින් වෙත ලබාදීමයි. ඔවුන් එම ඉඩම්වල පොළොව යට දුම්රිය ස්ථාන ඉදිකර පොළොව මතුපිට සාප්පු සංකීර්ණ, කාර්යාල සංකීර්ණ, මහල් නිවාස ව්‍යාපෘති වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සිදුකළා. එමඟින් එම වියදම් පියවාගෙන ජනතාවට දැරිය හැකි මුදලකට ප්‍රවේශ පත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිකළා. ඒ ආකාරයෙන්ම අපේ රටට සුදුසු ක්‍රමවේදයක් අප සොයාගත යුතුව තිබෙනවා. ඒ පිළිබඳ දැනටමත් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා, නමුත් අප ඊට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අප ජපාන ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කළා. නමුත් ආණ්ඩු වෙනස්වීමේදී සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් නිසා එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුණා. රජයක් වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බව කිව යුතුයි. එවිට වැඩ කටයුතු අතර මඟ නතර වෙනවා. මෙම ක්‍රමය වෙනස් කිරීම සඳහා අප මේ ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ ප්‍රධාන වශයෙන් මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකළා. ඒ සෑම අවස්ථාවකම අප සිදුකලේ ආණ්ඩුවේ ඇඟිලිගැසීම් සහ ප්‍රතිපත්ති රටේ කටයුතුවලට බලපෑමක් නොවන ආකාරයට ස්වාධීනව කටයුතු කිරිමට අවස්ථාව ඇතිකිරීමයි.

මහබැංකු පනත, රාජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී මෙම ප්‍රතිසංස්කරණ අප නීතියෙන් පනවා තිබෙනවා. ආර්ථික පරිවර්තන නීතිය ද සම්මත කරගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තුළ නීති කිහිපයක්ම අන්තර්ගත වෙනවා.

විදේශ ව්‍යාපාරිකයෙකු හෝ ආයෝජකයෙකු පැමිණි අවස්ථාවේදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම, කඩිනමින් අවශ්‍ය තීන්දු තීරණ හා අනුමැතීන් ලබාගැනීමට හැකිවන අයුරින් කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වාදීමට එමඟින් කටයුතු කර තිබෙනවා. එවගේම අපේ රටේ ආර්ථිකය අප විසින් ගෙනයාමට අපේක්ෂා කරන දිශානතිය වෙත ගෙනයාමට වැදගත්වන කරුණු මෙම නීතියේ ඇතුළත් වෙනවා. මේ අයුරින් අප ක්‍රමක්‍රමයෙන් රට ගොඩ නගමින් තිබෙනවා.

මේ වන විට රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. පැවති අර්බුදය සමයේ බොහෝ දෙනා දුකටත් පීඩාවටත් පත්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප ගිවිසුම්ගත වූ නිසා ඔවුන් ප්‍රකාශ කරන සියලුදේ අප කරන බව ඇතැමුන් පැවසුවා. අකමැත්තෙන් වූවද සමහර දේ අපට කිරීමට සිදුවුණා. ඒ අපේ රටේ යහපත වෙනුවෙන්. නමුත් බොහෝ දේ අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳ ඔවුන් සමඟ ප්‍රායෝගිකව සාකච්ඡා කර සිදු කිරීමට කටයුතු කළා.

අප ගිවිසුම් ගත වුණේ ඒ සඳහායි. අප ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉන් ඔබ්බට ගිය දෙයක් බව සඳහන් කළ යුතුයි. ස්ථාවර කරගත් රටේ ආර්ථිකය වේගයෙන් දියුණු කළ යුතුයි. රට වැටුණු අවස්ථාවේ අප ආනයනය මත පදනම් වූ ආර්ථිකයක සිටි නිසා රුපියල අවප්‍රමාණය වීම සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. නමුත් අපගේ ආදායම් මට්ටම ඉහළ ගියේ නැහැ. එනිසා ජනතාවගේ ජීවන වියදම දරාගත හැකි මට්ටමකටත් ඉන් ඔබ්බටත් ගෙනයාම සඳහා අප උත්සාහ කරමින් සිටිනවා. ඒ සඳහා වේගවත් ආර්ථික දියුණුවක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු මහාමාර්ග පද්ධතියේ සම්බන්ධතාව ඉතා වැදගත් වෙනවා.

ඉන්දියාව සමඟ අපේ සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතිනවා. ඒ මෙරට ආර්ථිකයට රුකුලක් වීම සඳහායි. අප බලාපොරොත්තු වන සම්බන්ධතා කොරිඩෝවේ ගොඩබිම් සම්බන්ධතාව කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කිරීමයි. කිලෝමිටර් 50ක් පමණ දිගකින් යුතුව මුහුද හරහා මෙම පාලම ඉදි කළ යුතු නිසා අප මේ අද සාකච්ඡා කරනු ලබන තාක්ෂණය එතැනින් ඉදිරියට ගෙන යායුතු වෙනවා. පැරණි කාලයේ පැවතුණා යැයි මතයක් පවතින ආදම්ගේ පාලම මාර්ගය ඔස්සේ මෙම පාලම ඉදිකිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එයින් අපට ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ දැනුම ලැබෙනවා. අනාගත පරම්පරාවේ ඉංජිනේරුවන්ට එයින් රැකියා සහ දැනුම ලැබෙනවා. ඒවගේම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. වරාය හා සැපයුම් කටයුතු වර්ධනය වෙනවා. මෙයින් දකුණු ඉන්දියාවේ ආනයන සහ අපනයන ඇතුළු වෙළෙඳ කටයුතු ශ්‍රී ලංකාවේ වරායන් හරහා සිදුකළ යුතු වෙනවා. මේ හරහා ඔවුන්ගේ සැපයුම් වියදම් 50%කින් පමණ අඩු වනවා සේම වරාය තුළ වගේම අනෙකුත් සේවා සඳහා ද අපට විශාල අවස්ථා ප්‍රමාණයක් ඇතිවෙනවා.

ඒ නිසා අපේ රටට හොඳ අනාගතයක් තිබෙනවා. නමුත් අප ස්ථාවර ප්‍රතිපත්ති ඔස්සේ මේ ගමන යා යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එකතු විය යුතුයි.”