කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මඟින්  රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් අද (11) විවෘත කෙරිණි .

දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසිනි.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණ.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න