නීතිපති පුරප්පාඩුව : නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති ලේකම් ප්‍රතිචාර දක්වයි !

නීතිපති පුරප්පාඩුව : නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති ලේකම් ප්‍රතිචාර දක්වයි !

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්  විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක  පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත්, ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා  සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්  වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම, 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් නීතිපති ධූරය සඳහා කිහිප දෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර, එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධූරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබිණ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න