බරපතළ වැඩ සහිතව අවුරුදු 4කට හිරේ යන ඥානසාර හිමි වෙනුවෙන් අභියාචනයක් !

බරපතළ වැඩ සහිතව අවුරුදු 4කට හිරේ යන  ඥානසාර හිමි වෙනුවෙන් අභියාචනයක් !

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි .

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 වසරේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණි.

ඒ, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවලට අනුව ය.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා උන්වහන්සේට එරෙහිව චෝදනා 2ක් යටතේ අධිචෝදනා ගොනු කළේය.

නඩුව අද (28) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන උන්වහන්සේ අදාළ ප්‍රකාශය සිදුකළ බවයි.

මෙම ප්‍රශ්නගත ප්‍රකාශය විත්තිකරු විසින් අහම්බයකින් සිදුකළේ යැයි කිව නොහැකි බවත්, එය සිතාමතාම සිදුකර ඇති ආකාරයක් නඩු විභාගයේදී පැහැදිලි වූ බවත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී සඳහන් කළේය.

එමෙන්ම ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකාර භික්ෂූන් වහන්සේ එම වගකීම පැහැර හැර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කර තිබුණි.

ඒ අනුව විත්තිකාර භික්ෂූන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට සනාථ වී ඇති බව පැවසූ විනිසුරුවරයා එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළේය.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ, එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවයි.

එම නියෝගය පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද විනිසුරුවරයා නියම කළේය.

එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ, එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන ලෙස ය.

මෙම දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවද දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකරු ඇමතූ විනිසුරුවරයා කියා සිටියේය.

ඉන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න