Language Switcher

V2025

IMF සාකච්ඡාව : හර්ෂට වාරණයක් : හැබැයි TNA එනවා !

විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග එහි යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගී වීමට නියමිත බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග හෙට (11) දින ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ සදහා අදාළ පක්ෂවලට නිල ආරධනයක් සිදුකර තිබුණ ද මේ වනවිට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඒ සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමකට අනුව ලබාදුන්න ද ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙයි. ඒ සජබ නායක සජිත් ප්‍රේමදාස ඊට විරෝධය පලකර තිබෙන නිසා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .