Language Switcher

V2025

රනිල් නිසා : ප්‍රසන්න - නාමල් එළිපිට ගැටෙති !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවයි.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (28) දින පැවැත්වුනේ ගාලු කොටුවේ පිහිටි හෝල් ඩී ගෝල් ශාලාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ නායකයින්. අපේ පක්ෂයේ නායකයින් දුන් උපදෙස් අනුවයි අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න අපේ සහයෝගය ලබා දුන්නේ. ඔහු මේ වනවිට ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලා රටේ ප්‍රශ්න විසදමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙන කිසිවෙකුට හැකියාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ජනාධිපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් කළාම ඒ අය ඒක ප්‍රතික්ෂේප කළා. අනුර කුමාර දිසානායාක, සජිත් ප්‍රේමදාස කියන දෙන්නත් මේ වගකීම භාර ගන්න අකමැති වුණා. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම. ඔහු තරග කරන්න අවශ්‍ය කුමන පක්ෂයෙන්ද කුමන ලකුණෙන්ද කියන එක සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැම වෙලාවෙම ජනතාව හා රට ගැන හිතලා තීන්දු තීරණ ගත්ත පක්ෂයක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ළගදීම ලංකාවට එනවා. එතුමා ලංකාවට ආවට පස්සේ පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා, පක්ෂය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපි ජනාධිපතිවරණයේදී ගත යුතුව තිබෙන තීරණය කියාවී.

රනිල්ව ඉල්ලන්නේ සුළු පිරිසක් - නාමල්

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත් එය පක්ෂයේ මතය නොවන බවය.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද ඔහු පවසයි .

මන්ත්‍රීවරයා මේ සඳහන් කර සිටියේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවත් ඔහු පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .