රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය !

 රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය !

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමිනි.

හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද කියා සිටියේය.

එසේම තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනෙකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි.

මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විධානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිනි.
ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහ ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න