තෛපොංගල් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම් !!!

තෛපොංගල් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම් !!!

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.

අදට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා ඇති බවයි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවද, ජනාධිපතිතුමා නිකුත් කළ තෛපොංගල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ස්වභාවධර්මය සමග බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සඳහන් කරනවා.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවයි.

මේ අතර අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමග ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, එකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් , ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න