පසුගිය සමයේ දේශපාලන පිටියේ නොසිදුවිය යුතු දේවල් රැසක් සිදුවු බවත් දේශපාලන බලලොභී පුද්ගලයන් ඊට මැදිහත්වූ බව අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කරයි.
ඡන්ද පදනමක් නැති, ඡන්දයකින් දිනන්න බැරි, සල්ලි වලින් දිනන්න පුලුවන් කියන පුද්ගලයන් ටික දෙනෙකු ආණ්ඩුව වට්ටන්න හැදු බවත් බුකි කාරයෝ, රේස් කාරයෝ , සූදු කාරයෝ එකතුව සිදුකළ එම විනාශයෙන් රටේම ආයෝජන නැවතුණු බවද අමාත්‍යවරයා පවසා ඇත.
අද (03) දෙමටගොඩදී ආගමික උත්සවයකට එක්වීමෙන් පසුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළ අතර රටතුළ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නොමැති නමුත් ඡන්ද පදනමක් නොමැති නන්නත්තාර වූ දේශපාලනඥයින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් සඳහන් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
“අපේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් කියලා එකක් නෑ. නමුත් පාර්ලිමේන්තුවට පත් වෙලා තානාන්තර අරගෙන ඒවා විනාශ කරන දේශපාලනඥයෝ රට ගැන හිතන්නේ නෑ. රට ගැන හිතනව නම් මේ වගේ දෙවල් සිදු නොවිය යුතුයි.
පසුගිය කැබිනට් සංශෝධනය සිදු වුණේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්චා කිරීමෙන්. අපට ඉදිරියට තව මාස 18ක් ඉතිරිව තියෙනවා. ඉදිරි මාස 18දී පහුගිය කාලේ අපේ අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ මහජනතාව 2015 දී වරමක් දුන්නේ අතිගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එකට ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට ගෙනියන්න කියලා. එහෙම නැත්නම් මහජනතාවට තිබුණා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න හරි, එ.ජා.ප ආණ්ඩුවක් හදන්න හරි. එහෙම නැතුව බලය දුන්නේ දෙගොල්ලන්ටම දේශපාලනය පැත්තකින් තියල රට හදන්න. ඉතින් ඒ ක්‍රමවේදය පහුගිය කාලේ කරගෙන ගියා. ඉදිරියේදී ඊටත් වැඩියෙන් පිරිසිදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒක තමයි අලුත් කැබිනට් සංශෝධනයෙන් පසුව අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ”

