අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස 10,000ක්

අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස 10,000ක්

එළඹෙන 2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි.

නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන් නිවාස ව්‍යාපෘති 06 චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මකයි. ඒ සඳහා චීන යුවාන් මිලියන 552 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවෙයි. ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 1996 කි. ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් ඇරඹෙයි. ඉතිරි නිවාස 4,500 කට ආසන්න සංඛ්‍යාව ඇපල් වත්ත, කොළඹ‍ගේ මාවත, ෆර්ගියුසන් පාර, ස්ටේඩියම් ගම, ඔබේසේකරපුර හා මාදම්පිටිය යන ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15,728 කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේයි. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව ජීවත්වන පවුල් 50,000 ක් පදිංචි කිරීම සඳහා 2010 වසරේ දී ආරම්භ කළ නාගරික පුනර්ජීවන වැඩසටහන කඩිනම් කිරීම සඳහා මෙම සහාය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 වසරේදීයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) අරමුදල් යටතේ එය ක්‍රියාත්මකයි.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකර ඇති නිවාස යෝජනා ක්‍රම සංඛ්‍යාව 23 කි. නිවාස ඒකක සංඛ්‍යාව 14,611 කි. පවුල් 11,269 නැවත පදිංචි කර තිබේ.

මේ අනුව නාගරික සංවර්ධන අධිකාරියට කොළඹ අක්කර 116 ක් නැවත සංවර්ධනය කිරීම සඳහා ලැබී ඇත. ඒ සඳහා නව ආයෝජන ව්‍යාපෘති හදුනා ගනිමින් තිබෙන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තවත් නිවාස 3,500 ක් මැදි ආදායම් නිවාස වැඩ සටහන යටතේ ඉදි කෙරේ. මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 11 කි. මෙම නිවාස ව්‍යාපෘති 11 ඉදිකීරීම් ආරම්භ වී තිබුන ද කොවිඩ් වසංගතය හා ආර්ථික ආර්බුදය හේතුවෙන් ඉන් කීපයක් තාවකාලිකව නතර වී තිබේ. එම නතර වී ඇති ව්‍යාපෘති එළඹෙන වසරේදී ආරම්භ කර කඩිනමින් අවසන් කරන බව ද ඇමති ඇමතිවරයා කියයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න