දේශපාලන එදිරිවාදින් ලුහු බැඳ ගොස්, තර්ජන කර, සිර අඩස්සියේ දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් විපක්ෂයේ හඬ සම්පූර්ණයෙන් නිශ්ශබ්ද කිරීමේ සැලසුම් සහගත ක්‍රියාදාමයක් ආණ්ඩුව පවත්වාගෙන යන බව මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මල් පාර දේශපාලන කාර්යාලයේ දී අද (18) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස්...
රුපියල ඉතාමත් දරුණු ලෙස අවප්‍රමාණය වෙමින් පවතිනවා
''අතීතයේ මහජන මුදල් කොල්ලකාලා තිබෙනවා නම් දඬුවම් කිරීමට සූදානම් වෙන්න තරාතිරම නොබලා. නීතිය ඉදිරියේ සියලු ම දෙනාම සමානයි කියන ප්‍රතිපත්තිය අනුව කියලා එතුමා ගේ ආණ්ඩුව වැඩ කරන්නේ ඒ මාතලේ ප්‍රකාශයේ සඳහන් වුණා. උදාර ප්‍රශංසනීය සිතුවිල්ලක්. හැබැයි ඒක ද යථාර්ථය. ඇත්ත තත්වය ඊට හාත් පසින්ම වෙනස්. දේශපාලන එදිරිවාදින් ලුහු බැඳගෙන ගොස් තර්ජන කරලා සිර අඩස්සියේ දැමීමේ වැඩපිළිවෙලක් තමයි අපි දකින්නේ. විපක්ෂයේ හඬ සම්පූර්ණයෙන් නිශ්ශබ්ද කිරීමේ සැලසුම් සහගත ක්‍රියාදාමයක්.
දැන් තෙල් මිල තවත් සැරයක් විශාල ප්‍රමාණයකින් වැඩි වෙන බවට ඉඟියක් කියලා, රුපියල දවසින් දවස ඉතාමත් දරුණු ලෙස අවප්‍රමාණය වෙමින් පවතිනවා. දැන් වෙන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 331 යි. ඉතින් මේකේ ප්‍රතිඵලය මොකද්ද ? ජීවන වියදම දරාගන්න බැරි මට්ටමකට ඉහළ යනවා. ආහාර ඇතුළුව මිල ආකාසයට ඉහළින් යනවා. එතකොට ජනතා අප්‍රසාදය හැමදාම අපි දකිනවා වැඩියි. රජයේ ප්‍රතිචාරය මොකද්ද ? මර්දනය. එතකොට මේ වැඩපිළිවෙල මුල ඉඳන් අගට නීතිය ක්‍රියාත්මක කිරීම, හොරු ඇල්ලීම හෝ මේ රටට නිර්මල සංස්කෘතියක් හඳුන්වාදීම නොවේ, කිසිසේත් නොවේ. මේක පටු පක්ෂග්‍රාහී දේශපාලන වැඩපිළිවෙළක්.
සැලසුම්ගතව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්
දැන් මේකේ අවසාන අරමුණ තමයි සම්පූර්ණ සමාජය වෙළාගත් හිතන්න බැරි ප්‍රමාණයේ භීතියක් ඇති කිරීම. ඒකට ප්‍රධාන යන්ත්‍රණය හැටියට දැන් පාවිච්චි කරන්නේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව. විමර්ෂණ පටන් ගන්නවා. කැඳවනවා. ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න වලට බලාපොරොත්තු වන්නේ සත්‍ය පිළිතුරු නොවේ. ඇත්ත හොයා ගැනීමේ අවංක උත්සායක් නොවේ. රජයේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා ඒ නිලධාරින්ට අවශ්‍ය පිළිතුර තමයි බලාපොරොත්තු වන්නේ. ව්‍යාජ සාක්ෂි සැලසුම්ගතව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක්. මේකට අවනතවුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රතික්ෂේප කළොත් දරුණු තර්ජන. සිල්ලර තර්ජන නෙමෙයි. ජීවිතෙන්. වැඩිකල් ජීවතුන් අතරේ සිටින්න පුලුවන් වෙන්නේ නෑ කියන පණිවුඩය ඉතාමත් සෘජුවම සාක්කි දෙන පුද්ගලයන්ට ඉදිරිපත් කරනවා අර නිලධාරින්ගේ අවශ්‍යතා වලට අනුමත වෙන්නේ නැති වුනොත්. පුදුම විදියේ ආතතියක් ඇති කරන්න. බෙල්ලේ වැලලාගෙන සියලුම දේවල් අවසන් කිරීම විතරයි කරන්න ඉතිරි වෙලා තිබෙන්නේ. වෙන කිසිම විකල්පයක් නෑ කියලා අදහස බොහොම දරුණු ලෙස ඒ පුදගලයන්ගේ සිත් තුළ ඇති කරනවා. එතනට තමයි මේ අය තල්ලු කරන්නේ. දැන් මේක අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ අපි දකින වැඩපිළිවෙළ.
දැනට ම මිනිස් ජීවිත දෙකක් නැති වෙලා
දැන් මේක සිරිතක් වෙලා තිබෙනවා. බලන්න ශිෂ්ට ලෝකයේ වෙන දෙයක්ද කපිල චන්ද්‍රසේන මරණය? මේ ගැන ඇත්තවශයෙන් මේ සමාජයේ කතිකාවක් ඇතිවෙලා තිබෙනවා. මේක කෙතරම් භයානකද? මේක කපිල චන්ද්‍රසේන මැතිතුමාට පමණක් නොවේ මේ රටේ මූලික අයිතිවාසිකම්, අපේ නිදහස අගය කරන සියලුම දෙනාටම කෙළින්ම බල කරන දෙයක් කපිල චන්ද්‍රසේන මැතිතුමාට සිදුවෙච්ච දේ. දැන් දිවුරුම් ප්‍රකාශයක් තිබෙනවා. කවුරුත් මේ දිවුරුම් ප්‍රකාශය ගැන අවධානය යොමු කරන්නේ නෑ හැබැයි. මේක නිශ්ශබ්ද පිළිගන්න පුලුවන් දෙයක්ද? මොකද්ද ඒ දිවුරුම් ප්‍රකාශයේ හරය? ඒ පුද්ගලයාව අල්ලස් කොමිසම ඉදිරියට ගෙනාවා. ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ප්‍රශ්න අහන අතරතුරේ යම්කිසි පුද්ගලයෙක් ඒ කාමරයට ආවා. මේක තමයි ඒ දිවුරුම් ප්‍රකාශයේ තිබෙන්නේ. ඒ ආපු පුද්ගලයා ඇහුවා මාව හඳුනනවාද කියලා. එතකොට කපිල චන්ද්‍රසේන මැතිතුමා ආසනයෙන් නැගිටලා කිව්වා ඔව් ඔබතුමාව මං දන්නවා. කවුද මේ ? අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. ඊට පස්සේ දිවුරුම් ප්‍රකාශය අනුව මොකද්ද සිදුවුණේ කිව්වම, මේ වෙලාවේ වැඩක් නෑ, මෙන්න මේ නම් දෙක සඳහන් කරන්න මහා එකා සහ පොඩි එකා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නොකළොත් මොකද්ද වෙන්නේ? බොහොම භයානක අත්දැකීමක් කෙළින්ම මතක් කර දුන්නා. තමන්ගේම අතින් දිවියෙන් සමුගත් පුද්ලයෙකු පිළිබඳ ඒ සෝචනීය ඉරණම කපිල චන්ද්‍රසේනට කෙළින්ම මතක් කරලා දුන්නා. මේ කෙහෙළිය රඹුක්වැල්ල විමර්ශනයට සම්බන්ධව, කවුද ඒ පුද්ගලයා සිසිරි සිරිවර්ධන. අන්තිමේ සිසිරි සිරිවර්ධන තීරණය කළා වෙන කරන්න දෙයක් නැහැ. මම සියදිවි නසාගන්නවා කියලා. බලන්න මේවා ගැන අපි හිතන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සමාජයක් හැටියට. එතකොට කපිල චන්ද්‍රසේනට කියනවා මේක තමයි ඔයාට දෙන අන්තිම අවස්ථාව. මීට පස්සේ අවකාශයක් ලැබෙන්නෙ නෑ, එහෙනම් මේකෙන් ප්‍රයෝජන ගන්න. නොගත්තොත් අර සිසිර සිරිවර්ධනට සිදුවෙච්ච දේම තමයි ඔයාටත් සිදුවන්නේ, ඒ ඉරණම. ඊට පස්සෙ වැඩිකලක් ගියේ නෑ දින කිහිපයකින් කපිල චන්ද්‍රසේන ජීවතුන් අතර හිටියේ නෑ. ජීවිතය අවසාන කරගත්තා. දැන් මේවා අදහාගන්න පුළුවන් දේවල්ද? මේ කැලෑ නීතිය නොවෙයිනේ, මේ ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ කෙරෙන විමර්ශනයක්. එතකොට දැනටම අපි දන්න තරමට මිනිස් ජීවිත දෙකක් නැති වෙලා තිබෙනවා. කවුද මේකට වගකියන්නේ ? කවුද අපේ නීතිය යටතේ වගකීම් බාරගන්නේ ?
දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉතාමත් බරපතළ අපරාධයක්
මේ සිල්ලර දේවල් නොවෙයිනේ. නීතිය යටතේ ස්ථාපිත වෙලා තිබෙන කොමියුනිස්ට් කොමිෂන් සභාවට කැඳවලා සාක්ෂි ලබා ගන්නා පුද්ගලයන් තල්ලු කරනවා පාලනය කරන්න බැරි, දරාගන්න බැරි ආතතියක් ඇති කරලා, සියදිවි නසා ගැනීමට පෙළඹීමක්. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේක ඉතාමත් බරපතළ අපරාධයක්. කාටහරි තර්ජනය කරලා, පෙළඹවීම් කරලා සියදිවි නසාගන්නා තැනට තල්ලු කිරීමට එසේ මෙසේ දෙයක් නොවේ. ඒක බොහොම භයානක අපරාධයක් ශ්‍රී ලංකා නීතිය යටතේ. කවුද මේක කරන්නේ ? සාමාන්‍ය පුද්ගලයෙක් නොවේනේ, කොමිෂන් සභාවක්. එතකොට මේකෙ ආයතිනක වගකීම කාටද පැවරෙන්නේ ? අධ්‍යක්ෂ ජනරාල්ට නොවෙයිද ? 2023 අංක 09 දරණ ශ්‍රී ලංකා දූෂණ විරෝධී පනත යටතේ කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ කොමසාරිස්වරුන්ගේ වගකීම පිළිබඳව බොහොම පැහැදිළිව ඒ නීතියේ සඳහන් වෙනවා. කොමිසමේ වගකීම් ඒ නීතියේ 16 වන වගන්තියේ අර්ථ නිවැරදි කරනවා. 18 වන්තියේ 6 වන උප වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධි චෝදනා පත්‍රයක් මගින් නඩු පවරන්න පුළුවන් වන්නේ කොමිෂන් සභාවේ නියෝගය පරිදිය. එතුමාගේ අභිමතය පරිදි හිතන හිතන විදියට නඩු පවරන්න බැහැ. නඩු පැවරීමේ වගකීම තිබෙන්නේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට නොවේ. කොමිෂන් සභාව කියන්නේ සභාපතිතුමා හා කොමසාරිස්වරුන්. ඒ වගේම 17 වන වගන්තියේ 3 වන උප වගන්තියෙන් පැහැදිළි වෙනවා අධ්‍යක්ෂක ජනරාල්ට වෙන එකක් තබා ඒ අධි චෝදනා ප්‍රතයට අත්සන් කරන්න පුළුවන් වන්නේ; එයා ගේ අත්සන දාන්න පුළුවන් වන්නේ කොමිෂන් සභාවේ නියෝගය පරිදිය. එහෙම නියෝගයක් නැතුව එයා ගේ අත්සන කොහෙත්ම ඒකට දාන්න බෑ. එතකොට මේ කොමිෂන් සභාවේ වෙන දේවල්. මිනිස්සු මැරෙනවා. ඒ දක්වා දැන් මේක ගිහින් තිබෙනවා. මිනිස්සු මැරෙනවා දැන්. එතකොට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ කොමිෂන් සභාව බව අදාළ නීතියේ 13 වන වගන්තියෙන් ඉතාමත් අවධාරණාත්මකව සඳහන් වෙනවා. ඒ වගේම ඒ නීතියේ තියෙනවා කොමසාරිවරුන් කිසිදු බාහිර බලපෑමකින්, කිසිම දේශපාලන බලපෑමකින් තොරවයි. මේකයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය. මේක සම්පූර්ණයෙන් විකෘති කරලා.
අධ්‍යක්ෂ ජනරාල් සියලු බලතල තමන්ගේ අතට අරගෙන
අද අපි සියලු දෙනාම, මුළු සමාජයම දකින පරිදි මේ කොමිෂන් සභාව මෙහෙයවන්නේ සභාපති සහ කොමසාරිස්වරුන් නොවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සියලු බලතල තමන්ගේ අතට අත්තනෝමතික හැටියට අරගෙන කොමිෂම පාලනය කරන්නේ, බිය ගන්වන්නේ, මිනිස්සු ගෙළ වැලලා ගන්නා තැනට තල්ලු කර දමන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, කපිල චන්ද්‍රසේන මැතිතුමා ගේ දිවුරුම් ප්‍රකාශය අනුව මහා විකෘතියක්. ඒ දිවුරුම් ප්‍රකාශයේ තිබෙන කරුණු අනුව. අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ විධායක නිලධාරියෙක්. එයා කටයුතු කරන්නේ කොමිෂමේ සභාපති හා කොමසාරිස්වරුන් යටතේ. දැන් අධ්‍යක්ෂ ජනාරල් උඩින් ඉන්නවා, කොමසාරිස්වරු යටින් ඉන්නවා. මෙතන තියෙනවා අනුපිළිවෙලක්. පද්ධතියක් තියෙනවා. වෙන නොයෙක් පිටස්තර සාධක නිසා දැන හැඳුනුම්කම් සම්බන්ධ නිසා මොන හේතුවක් නිසාවත් අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ සියලු බලතල තමන්ගේ අතට අරගෙන ඒකාධිපතියෙක් හැටියට ශ්‍රී ලංකාවේ නීතියට පයින් ගහලා මේ රටේ මිනිසුන්ගේ ජීවිත පරදුවට තබලා, මිනිස්සු මැරෙන තත්වයට තල්ලු කිරීමට අධ්‍යක්ෂක ජනරාල් වරයාට අපේ නීතිය යටතේ කිසිදු ඉඩකඩක් නෑ.
පාර්ලිමේන්තුව සම්පූර්ණ වගකීම දීලා තිබෙන්නේ කොමිෂන් සභාවට
එහෙනම් තව දුරටත් මේ කොමසාරිස්වරුන්ට පුළුවන්ද නිශ්ශබ්දව ඉන්න. අහම්බෙන් කොහේහරි වගකීමෙන් තොරව කරන ප්‍රකාශයක් නොවේ, ඒ දිවුරුම් ප්‍රකාශයේ අඩංගු දේවල් සම්බන්ධයෙන් අපක්ෂපාතී විධිමත් ක්ෂණික පරීක්ෂණයක් කිරීමට කොමසාරිස්වරු ඒ කොමිෂන් සභාවේ සභාපතිතුමා හා කොමසාරිස්වරුන් බැඳී සිටින්නේ නැද්ද? ඒ අයගේ යුතුකමක් නොවෙයිද? ඇස් පියාගෙන නින්දේ සිටින්න ඒ අයට අයිතිවාසිකමක් තියෙනවද? මේ පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව විසින් දීලා තිබෙන්නේ කොමිෂන් සභාවට. වගවීම ඒ අයට පමණයි තිබෙන්නේ. ඒක අධ්‍යක්ෂක ජනරාල්වරයාට හෝ වෙන කිසිදු විධායක නිලධාරියෙකුට පැවරීමට කොමිෂන් සභාවට කිසිම අයිතියක් බලයක් නැහැ අපේ නීතියේ හැටියට.
මේ මහා භයංකාර වැඩපිළිවෙළට අවසාන තිත තැබිය යුතුයි
එහෙනම් ඒ වගකීම ඒගොල්ලන් අනිවාරෙන්ම පිළිගන්න ඕන. ඒ අනුව කටයුතු කරන්න ඕන. නීතිය ඉදිරියේ උත්තර බඳින්න ඕන. නීතිය ඉදිරියේ උත්තර බැඳීමට කොමිෂන් සභාව බැඳී සිටිනවා. අද හෝ හෙට හෝ කවදාහරි ඒ වගකීම අනුව කටයුතු කරනවාට ඒකෙන් උද්ගත වන ප්‍රතිඵල භුක්ති විඳින්න ඕන. කොමිෂන් සභාවට අනිවාරයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි නීතියේ ස්වාධිපත්‍යය. කොහේද මේ වගේ දේවල් වෙන්නේ? පාර්ලිමේන්තුව යම් යම් බලතල දෙනවා කොමිෂන් සභාවට. එතකොට කොමිෂන් සභාව කටයුතු කරන ආකාරය අනුව මිනිසුන් මැරෙනවා. මේවා අදහාගන්න පුලුවන් දේවල්ද? ශිෂ්ට ලෝකයේ කොහේවත් සිදුවෙන දේවල්ද? මේවා දකිනකොට ඉතිහාසයෙන් අපිට මතක් වන්නේ දෙවන ලෝක සංග්‍රාමයේ තිබිච්ච කාලයේ රුසියාවේ ජෝසෆ් ස්ටාලින් ගේ අග්‍රාදායකත්වය යටතේ ලුබියන්කා කියන සුප්‍රසිද්ධ හිරගෙදර ඒ නම කියන්න විතරයි තියෙන්නේ, මිනිස්සු වෙව්ලන තත්ත්වය ආවා. ලුබියන්කා හිරගෙදරට කවුරුහරි යනවා නම් ආපහු පණ පිටින් එන්නේ නෑ. දසවද දීලා එක්කෝ මරනවා, එහෙම නැතිනම් ඒ ඉරණමට යටත් වෙන්න බැරි නිසා, ඒක අත්විඳින්න බැරි නිසා සියදිවි නසා ගන්නවා. ඒක තමයි ඒ බන්ධනාගාරයේ ඉතිහාසය. එතැනට අපේ රට පත් වීමට ඉඩ තියලා අපි නිශ්ශබ්දව සිටිනවාද? එහෙම නැතිනම් මේ මහා භයංකාර වැඩපිළිවෙලට අවසාන තිත තැබීම සඳහා එහෙන් මෙහෙන් කතා කිරීම නොවේ, මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික පියවරක් අපි ගන්න ඕන. අපි පැහැදිළිව කියනවා මිනිස් අයිතිවාසිකම් ගරු කරන සමාජයක් හැටියට අර ලුබියන්කා බන්ධානාගාරයේ අත්දැකීම මේ රටට කිසිසේත් හඳුනා දීමට අපි ඉඩ තියන්නේ නෑ. ඒක වැළැක්වීම සඳහා අපේ සාමූහික ශක්තිය යොදලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපේ නීතිය යටතේ ගන්න පුලුවන් සෑම පියවරක්ම කිසිම පැකිළීමකින් තොරව අපි සියලු දෙනාම ඒකාබද්ධ විපක්ෂය හැටියට ගන්නා බව ඉතාමත් පැහැදිළිව සඳහන් කරනවා.''
මෙම සාකච්ඡාවේ දී අජිත් මාන්නප්පෙරුම දැක්වූ අදහස්
මනුස්සයා ගේ ස්වභාය වැරදි කිරීම
''2023 අගෝස්තු 08 වන දින Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්මත කරන ලද 2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේ මේ රටේ දේශපාලනිකව බංකොලොත් වූ කණ්ඩායම් හොරා, හොරා කියන සංකල්පයක් වේදිකාගත කරපු නිසා යි.
ලෝකයේ මනුස්ස වර්ගයා උප්පතියෙන් කරන්නේ වැරදි. එතකොට ඒ වැරදි පාලනය කරන්න තමයි නීති රීති පද්ධතියක් තිබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තම ඒ කටයුතු පාලනය කරන්න තමයි අල්ලස් හා දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුව තිබෙන්නේ, පොලීසිය තිබෙන්නේ, ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයක් තිබෙන්නේ. මනුස්සයාගේ ස්වභාය තමයි වැරදි කිරීම. වැරදි උප්පතියෙන්ම මිනිසුන් කරන දෙයක් නිසා ඒවාට මරණ දඬුවම දෙනවාද නැද්ද කියන කාරණය තීරණය කළ යුත්තේ අධිකරණය මිස වෙනත් අංශවලින් නොවේ.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 1995 දශකයේ දී හඳුන්වා දුන් දූෂණ විරෝධි මූලික පනතට සංශෝධ ගණනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළත් කළා. වර්තමානයෙත් මේ අනුමත වී තිබෙන දූෂණ විරෝධි පනතට අන්තිම පිටු දෙකේ පනත් 22 ක් එකතු කරලා තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ දූෂණය නැවැත්වීම සඳහා ඉතා වටිනා පනත් 24 ක් පමණ එකතු කරලා තිබෙනවා.
අධිකරණ බලය විමර්ෂණ නිලධාරින්ට පවරලා ද...?
වර්තමාන දූෂණ විරෝධි පනතෙන් අතීතයට බලපාන පරිදි ක්‍රියාකරන්න බැහැ. නමුත් මේ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා, ආසියාවේ එහෙම නැති නම් ලෝකයේ කුමන රටවල්වල ද මෙවැනි දූෂණ විරෝධී පනතක් තිබෙන්නේ කියලා. දැනටත් අපිට විවිධ වෘත්තිය සමිති, රාජ්‍ය යාන්ත්‍රණයේ සිටින වෘත්තිය සමිති අප සමග කරන ප්‍රකාශයක් තමයි මේ පනතෙන් කොහොමද දූෂණය නවත්වන ගමන් සංවර්ධනය සාර්ථක කරගන්නේ කියලා. මේ පනත හරහා දේශපාලඥයන්ගෙන් පළිගැනීමට ; උදාහරණයක් ලෙස වර්තමාන පාලන යන්ත්‍රය දේශපාලඥයන්ගේ ළමයි, එහෙම නැතිනම් ඒවාට සම්බන්ධ නැති පවුලේ අනිත් උදවිය සියලුදෙනා කැඳවලා ත්‍රාසජනක තත්ත්වයක් ඇති කරලා, ඒ අය ගේ හිතවතුන්ට පවා හිරිහැර කිරීමේ ක්‍රියාවලියට කෙසේද මුහුණ දෙන්නේ කියන අභියෝගය අප සතුව තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් කල්පනා කර බැලිය යුතු කාරණය තමයි දූෂණ විරෝධී පනත හරහා අධිකරණ බලය විමර්ෂණ නිලධාරින්ට ලැබී තිබේද? එසේ සිදු වී තිබේනම් එය අධිකරණ පද්ධතිය තුළ සිදුවන බරපතල ඛේදවාචකයක්. ඉතින් ඒ නිසා මේ තත්වයන් පිළිබඳ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ගැඹුරු අධ්‍යනයක යෙදී සිටින බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
ඒ වගේම මතක තබා ගත යුතුයි වර්තමාන පාලන යන්ත්‍රයත්, පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩුවට සම්බන්ධ 160 දෙනාගේ ළමයිනුත් අපි අනාගතයේ දී අධිකරණවලට කැඳවනව ද? පොලීසිවලට කැඳවනව ද? දෙමව්පියන් දේශපාලනය කරන නිසා එසේ කළ යුතු ද? අපි පක්ෂයක් හැටියට දරණ මතය තමයි එසේ නොකළ යුතුයි. නමුත් ඒවා සිහියේ තබාගෙන පාලන යන්ත්‍ර ක්‍රියාකළ යුතුයි කියලා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
