20 නිසා රට නොබෙදෙන බවට ජවිපෙන් සහතිකයක් !

 20 නිසා රට නොබෙදෙන බවට ජවිපෙන් සහතිකයක් !

20වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක බලතල අහිමි වීමෙන් රට කැඩෙන, රට බෙදෙන අවස්ථාවක් උදාවිය හැකි බවට ඇතැමුන් චෝදනා කළත්  20වැනි සංශෝධනය මගින් රට බෙදන්න හැකියාවක් උදාවෙන්නේ නැති බව තමන් සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කර සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ යනු  රට බෙදන එක වළක්වන්න සටන් කරපු පක්‍ෂයක් බවත් 20ට අනුව 13වැනි සංශෝධනයට අදාල බලතල ජනාධිපතිවරයාට ඇති බැවින් කොහෙත්ම රට බෙදීයාමේ අවධානමක් නොමැති බවද ඔහු පැවසීය. 

අලූත් ව්‍යවස්ථාවක් සඳහා කි‍්‍රයාවලියක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව තුළ සාකච්ඡා  වෙමින් තිබු බවත් එහි මූලික යෝජනාවක් වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම බවත් සිහිපත් කළ මන්ත්‍රීවරයා එම නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කි‍්‍රයාවලිය දැන් අඩපණව ඇති බැවින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම් යෝජනාව පමණක් පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගෙන ඒමට පක්ෂය තීන්දු කළ බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.

1978 ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සම්මත කරගන්න කලින් ඉඳලම ජනතා විමුක්ති පෙරමුණ එහි භයානකකම දැක්කා. එදා ඉඳලම අපි ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපතිධුරයට විරුද්ධ වුණා. සම්මත කරගැනීමෙන් පසුව එය පරාජය කරන්න කටයුතු කළා. එයට විරුද්ධව වැඩ කරපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නත් ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ එදත් අදත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. මේ වතාවේ අපි එය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගේනවා. ඇතැම් අය මෙයට කලබල වෙලා. ඒ පුද්ගලයින් ප‍්‍රතිපත්ති වෙනස් කළාට ජවිපෙ ප‍්‍රතිපත්ති වෙනස් කරලා නැහැ. ඇතැම් අය 20ට බය වෙන්නේ එහි තිබෙන කරුණුවත් දන්නේ නැතිවයි. විධායක අගමැති ධුරයක් හදනවා කියලා චෝදනා කරන්නේ ඒකයි. 20 කරුණුවලට අනුව ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථා සභාවටත් පැවරෙනවා. කිසිසේත්ම අගමැතිට විධායක බලතල ලැබීමක් සිදුවෙන්නේ නැහැ.  

මෙහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැනද මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

වන රක්‍ෂණ ඇමතිධුරය එක් පුද්ගලයෙකුටත් වන ජීවී අමාත්‍යාංශය තවත් පුද්ගලයෙකුටත් ලබා දෙන්නේ කුමණ විද්‍යාත්මක පදනමකටද? විද්‍යානුකූලව නම් විය යුත්තේ වන රක්‍ෂණ සහ වන ජීවී විෂයන් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමයි. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් යන සියල්ල ඒකාබද්ධ කළ අමාත්‍යාංශයක් වනවා වෙනුවට කෘෂිකර්ම එක් ඇමතිවරයෙකුටත් ඉඩම් තව ඇමතිවරයෙකුටත් වාරිමාර්ග තව අයෙකුටත් වෙන්කර දී තිබෙනවා. මෙම විෂයන් වෙන් වෙන්ව තිබියදී කෘෂිකර්මය දියුණු කරන්නේ කොහොමද? දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශය මහින්ද අමරවීරට දීලා. මහින්ද අමරවීරගේ අමාත්‍යාංශය විජිතමුණි සොයිසට ලබාදීලා. විජතමුණිගේ අමාත්‍යාශය දුමින්ද දිසානායකට දීලා. මොකක්ද මෙතන තිබෙන මහලොකු විද්‍යාත්මක පදනම? 

ඒ වගේම ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිලා කියලා ඇමතිවරුත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. වයඹ පළාතට, උතුරු පළාතට, දකුණු පළාතට සංවර්ධන ඇමතිලා ඉන්නවා. එම පළාත්වලට කිසිදු සම්බන්ධයක් නැති ඇමතිලා ඒ අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමතිධුර දරනවා. ඇතැම් පළාත්වලට සංවර්ධන ඇමතිලා නැහැ. ලක්‍ෂ්මන් කිරිඇල්ලට මහනුවර සංවර්ධන ඇමතිකමක් දීලා. නුවරට කිසිදු සම්බන්ධයක් නැති අම්පාරේ හාරිස් ඇමතිවරයා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති බවට පත්වෙලා. මහනුවරට සංවර්ධන ඇමතිකමක් දෙනකොට අනෙක් දිස්ති‍්‍රක්වලට සංවර්ධන ඇමතිලා නැහැ. නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට සියලූම නගර අයිති වෙන්නේ චම්පික රණවක ඇමතිවරයාටයි. නමුත් මහනුවර ඒ අමාත්‍යාංශයෙන් ගලවලා. ලක්‍ෂ්මන් කිරිඇල්ලට දීලා තිබෙනවා. ඒවා කොහොමද විද්‍යාත්මක වෙන්නේ? 

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූර දෙන්නෙකුට දීලා. එම විෂයයන් දෙක එක අමාත්‍යාංශයක් යටතේ නොතබා අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? පළාත් සභාවලදී මෙම අධ්‍යාපන විෂය මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් ලෙස බෙදෙනවා. ඒ වගේම තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු විෂයන් අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ. සාමාන්‍යයෙන් තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු එකට බැඳී තිබෙන විෂයන් දෙකක්. එනිසා ඊයේ සිදුකළ මෙම කැබිනට් සංශෝධනය විකාරසහගත ජනතාව සිනාගස්වන විගඩමක් පමණයි. මේ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න