ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනපිට ගහන වාර්තාවක් මෙන්න : ජනාධිපතිගේ වැඩක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනපිට ගහන වාර්තාවක් මෙන්න  : ජනාධිපතිගේ වැඩක් !

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  වෙත අද (08) නිල වශයෙන් බාර දෙන ලදී.

මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය ඉතා සංකීර්ණ හා ගැඹුරු වන බැවින් එය විසඳීම අන්තර් පාලක කමිටුවක් පත් කළ පමණින්ම සිදු කළ නොහැකි බවත්, ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව සැලකීමේ දී ඒ සඳහා ස්ථිර සාර විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව සම්පාදිත " චිත්‍රසිරි කමිටු වාර්තාව" පසුගිය මාසයේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබූ නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2024 අයවැය අවසානයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබිණ. නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  තීරණය කර තිබේ.

ඒ අනුව එය හෙට (09) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිතය.

මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.

ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 4ක කාලසීමාවකට පත්වන 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර ඇත. එම අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලතල ලබාදී එම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වෙත ලබාදීමට යෝජනා කර ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 8 දෙනෙක් නම් කළ අධ්‍යක්ෂකවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත. එම කමිටුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා , ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් යෝජනා කර ඇත.

සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත් වන්නේ නිල වරණයක් හරහාය. එම නිල වරණය මගින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් 1ක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් වශයෙන් තේරී පත් විය යුතු බවට යෝජනා කෙරේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 12ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.

ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලිකමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති - බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් යෝජනා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න