දුම්රියෙන් නිවාස 100ක්

දුම්රියෙන් නිවාස 100ක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිකළ නිවාස 100ක් ජනතාව වෙත ලබාදීම ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාසයක පදිංචි කිරීම මෙමගින් සිදු විය.

ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට අපේක්ෂිත දායකත්වය හඳුනා ගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය සේවය සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා ගැනීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 දෙනෙකු සඳහා මෙහිදී නිවාස හිමිකම්පත් ලබා දෙන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද මාලිගාවත්ත ලක් හිරු සෙවණ හා කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලබා දෙන ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය සංර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන  මෙසේද පැවසීය.

කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ ජීවත්වීම සඳහා ජීවිත සටනක යෙදුනු තමුන්නාන්සේලා බොහෝ කලක් අනවසර පදිංචිකරුවන් යන ලේබලය යටතේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කාලය අවුරුදු විස්සක් තිහක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ සුද්දන් හදපු දුම්රිය ආඥා පනතට අනුව තමුන්නාන්සේලා ඔක්කොමලා බරපතළ වරදක වැරදිකරුවන්. දුම්රිය රක්ෂිතය මොනම හේතුවක් නිසාවත් ඉදි කිරීම් සඳහා යොදාගන්න බැහැ.

මෙය දුම්රිය මාර්ගයේ හිටියට ලැබෙන වන්දියක් නොවෙයි. මෙය කරුණා සහගත ගෙවීමක්. මානුෂික පදනමක් යටතේ තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි මෙම නිවාස ලබාදෙන්නේ. ලැබෙන නිවාසයට යන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා පදිංචි නිවෙසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මොකද අපි හැමෝම රටේ පවතින නීතියට යටත් වෙන්න ඕනෑ, පවතින නීතියට ගරු කරන්න ඕනෑ, අරාජික තත්ත්වයක් යටතේ සමාජයක් ජීවත් කරවන්න බැහැ. මේ ලැබෙන්නේ තමුන්නාන්සේලාට ජීවිත කාලය තුළ ලැබෙන ඉතා වටිනා වත්කමක්. රජය ගෙයක් ලබා දෙන්නේ ණය අරගෙන. නිදහසින් පස්සේ පත්වූ සියලුම රජයවල් කරලා තියෙන්නේ කාගෙ ආණ්ඩු තිබුණත්, කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු කැබිනට් මණ්ඩලයේ හිටියත් පාරවල්, පාලම්, ඇනිකට්, ඇළවේලි, නිවාස යෝජනා ක්‍රම, විදුලි බලාගාර, පාසල්, රෝහල් හදලා තියෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරගෙන. ඒ ගත්තු ණය අමෙරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවා ගන්න බැරිව හිර වෙලා තියනවා. 

ඔබතුමන්ලා එක්තරා තත්ත්වයකින් උඩට ඇවිල්ල තියෙනවා. ඒ තුළින් තමන්ගේ දරුවන්ට අනාගත ලෝකයට සරිලන ලෙස ඉගැන්විය යුතුයි. ඉදිරියට එන්නේ සාක්ෂරතාවය තුළින්, ඩිජිටල්කරණය තුළින් මිනිසුන් නැතුව වැඩ කරන ලෝකයයි. මේක තමයි හෙට දවසේ ලෝකය. ඒ ලෝකයට යන්න දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අලුත් ලෝකයට අවශ්‍ය කරන දැනුම දීලා ඒ දරුවා මේ රටට පමණක් නොවෙයි ලෝකයටම සම්පතක් වන දරුවන් ලෙස හදන්න කටයුතු කරන ඕනෑ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති හා සැලසුම්) ඩී. ජේ. ප්‍රේමතිලක, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකආරච්චි මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවාස හිමිකම්පත් ලාභීන් මෙම අවස්ථාවට විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න