දයාසිරිට නෝ චාන්ස් : වාරණ නියෝගයත් ඉවතට !

දයාසිරිට නෝ චාන්ස් : වාරණ නියෝගයත් ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටයුතු කිරීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද(26) නියම කළේය.

දයාසිරි ජයසේකර ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයක් ඇතැයිද එම සත්‍ය කරුණු වසන් කරමින් දයාසිරි ජයසේකර මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගත් දිසා විනිසුරුවරයා ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනාවන්ට දින 14ක් තුළ පිළිතුරු සැපයීමට නියම කරමින් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන  තමන්ට එරෙහිව නිකුත් කොට ඇති ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මෙම පෙත්සම ගොනු කොට ඇත.

වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමට අනුව පෙත්සම කැඳවන ලදී. පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කරුණු දක්වමින් පෙත්සම්කාර දයාසිරි ජයසේකර ගෙන් නිදහසට කරුණු විමසා මෙවැනි ලිපියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය ඇතැයි කීය.

ඒ අනුව පෙත්සම්කරුගෙන් නිදහසට කරුණු විමසා මෙම ලිපිය නිකුත් කොට ඇතැයිද පෙත්සම්කරු එම කරුණු අධිකරණයට වසන් කොට මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එහෙයින් නිකුත් කොට ඇති වාරණ නියෝගය අත්හිටුවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න