ඩර්ඩන්ස් රෝහලේ කටයුතු ජනපතිගේ ඇගයීමට !

ඩර්ඩන්ස් රෝහලේ කටයුතු ජනපතිගේ ඇගයීමට !

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස ඩර්ඩන්ස් රෝහලේ සැබෑ ජයග්‍රහණය පවතින්නේ එය රෝහලක් නිසා පමණක්ම නොව සමස්ත ආයතනයක් ලෙස ඔවුන් රටට ගෙනෙන අභිමානය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමඟ ඉදිරියට යන ලෙස ඩර්ඩන්ස්‌ රෝහලෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්‍ෂණික ක්‍රමයන්ට ශ්‍රී ලංකාව ළඟා වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. නවෝත්පාදන හා තාක්‍ෂණික අභියෝගවලට මුහුණ දීමට හැකි වන සේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් තාක්ෂණික විශ්වවිද්‍යාල පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) කොළඹ ඩර්ඩන්ස් රෝහලේ "ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්" නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ඩර්ඩන්ස් රෝහලේ ඉතිහාසය සහ ගමන් මග පිළිබඳ රචිත " Journey of Care " කෘතිය (Coffee Table Book) එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ඩර්ඩන්ස් රෝහල ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සිට සෞඛ්‍ය සේවයට සංක්‍රමණය වීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග හමුවේ, එවැනි පරිවර්තනයක් මගින් සමස්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතියම නවීකරණයට ලක් කළ හැකි බව පෙන්වා දීම සම්බන්ධයෙන් ද ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසාව පළ කළේය. අති නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට හදුන්වාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

පෞද්ගලික රෝහල්වලට සමාන්තරව රජයේ රෝහල්වල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා පිරිවැය ඉතිරි කිරීමේ මුලපිරීම් මගින් සෞඛ්‍ය සේවා පද්ධතියට නැවත ආයෝජනයන් සිදු කිරිම සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසා කළේය. ඉදිරි වසර කිහිපය තුළ රජයේ රෝහල්වල කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීමට කැපවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නවීන තාක්ෂණයත් සමග ශීඝ්‍රයෙන් වෙනස්වීම්වලට භාජනය වන වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් සිදුවන නව සොයාගැනීම් හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු යාවත්කාලීන කිරීම් සඳහා ආයෝජන අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

 පසුගිය දශකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත් කර ගෙන ඇති ප්‍රගතිය පෙර පරම්පරාවල දක්නට ලැබුණු ප්‍රගතිය අභිබවා ගොස් ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ  ඇතුළු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් ආදර්ශය අන් අය ද අනුගමනය කරනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ  සිය විශ්වාසය පළ කළ අතර මෙම විශිෂ්ඨ ආයතනය ගොඩනැගීමට දායක වූ සමස්ත රෝහල් කණ්ඩායමට ස්තුතිය පළ කර සිටියේය.

"ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්" නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා විසින් "Journey of Care" කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු කථානායක කරු ජයසූරිය , ඩර්ඩන්ස් රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230913 WA0009

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.