නව අධ්‍යාපන ක්‍රම සකස් කිරීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අදහස් ගන්නවා - ජනපති

නව අධ්‍යාපන ක්‍රම සකස් කිරීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අදහස් ගන්නවා - ජනපති

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එසේම ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමට ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමඟ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනෙක් පමණ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවට එක්ව සිටි අතර අනතුරුව පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් වූහ.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය මෙන්ම මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය ඇතුළුව කාර්ය භාරය පිළිබඳ මෙහිදී සිසුන් වෙත පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ද සිදු කළේය.

ඉදිරියේ දී අවම වශයෙන් නව විශ්වවිද්‍යාල 10ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත්, ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදී රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිසුන්ට තම අනාගතය සැලසුම් කර ගැනීම සඳහා අවශ්‍ය විෂය ක්ෂේත්‍ර තෝරා ගැනීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල හරහා ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා නව තාක්ෂණික විද්‍යාපීඨ ආරම්භ කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.

විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සිසුන්ගෙන් විමසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායක, අගමැති, විපක්ෂනායක ඇතුළු නිල තල පත් කර ගැනීමෙන් පසු මෙරට පළමු පාර්ලිමේන්තුව රැස් වූ වත්මන් ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී රැස්වීමක් පැවැත්වීමට ද ඔවුන්ට ආරාධනා කළේය.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ මීට පෙර කණ්ඩායමේ සිසුන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටී අතර තමන්ට හිමි නොවූ මෙම අවස්ථාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීම පිළිබඳව ස්තූතිය පළ කර සිටියේය.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න