දෙදින නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (අගෝ. 21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ජනාධිපතිවරයා සිය සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong) සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් (Ng Eng Hen), තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) යන අය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මගින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිත ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක් වෙයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්  වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න