දේශීය ණය ප්‍රශස්තකරණය : කොටස් වෙළඳ පොළෙන් වාර්තාගත ප්‍රතිචාරයක් !

දේශීය ණය ප්‍රශස්තකරණය : කොටස් වෙළඳ පොළෙන් වාර්තාගත ප්‍රතිචාරයක් !

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා විය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සඳහා මෙරට බැංකු පද්ධතියට අඛණ්ඩ දින 5 ක විරාමයක් ලබා දීමට රජය පසුගිය දා කටයුතු කළ අතර ඊට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දින 05 ක නිවාඩුවක් හිමිවිය. ‌

කෙසේවෙතත් එම තීන්දු තීරණවලට මනා ප්‍රතිචාරයක් ලබා දෙමින් ලැයිස්තුගත බැංකු සහ මූල්‍ය සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් අද දින කැපීපෙනෙන ලෙස ඉහළ යන ලදී.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 633.69 ක, එනම් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 6.71% ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගත් අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,076.64 ක් ලෙසින් වාර්තා වුණි.

සමාගම් 176 ක කොටස් මිල ගණන් අද දිනයේ දී ඉහළ ගොස් තිබුණි. එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, වැලිබල් වන්, HNB සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම් වෙතින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිදායකත්වයක් ලැබී තිබුණි.

මේ අතර රු‍. බිලියන 7.41 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

එහිදී දිනයේ සාමාන්‍ය දෛනික ගනුදෙනු හරහා කොමර්ෂල් බැංකුව රු. මිලියන 634 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 433 ක්, සම්පත් බැංකුව රු. මිලියන 371 ක් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 310 ක් ලෙසින් පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර පෙරමුණේ විය.

මීට අමතරව අද දින ගිවිසා ගනුලැබූ ගනුදෙනු කිහිපයක් ද වාර්තා වූ අතර ඒ අතුරින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 714 ක්, මෙල්ස්ටාකෝප් රු. මිලියන 349 ක් සහ කොමර්ෂල් බැංකු රු. මිලියන 245 ක් ලෙසින් දෛනික ගනුදෙනු පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

  • derana biz

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න