ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභා කෙරෙයි !

ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභා කෙරෙයි !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කෙරිණ.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉකුත් මාර්තු මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බව සඳහන් කළේය.

ඒ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කෙරෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින් ද මෙම කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවටද මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවොත් විදේශ ආයෝජකයින් මෙරටට පැමිණීම මගහැර වෙනත් රටවල් කරා ඇදී යාමට හැකියාව තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම ක්‍රියාවලිය හරහා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවන්ටත්, එහි ග්‍රාහකයින්ටත් අගතියක් සිදු වන බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුනත් එය ද පදනම් විරහිත බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාදාමය හරහා ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයින්ටත් හිමිවන අතර මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙලක් බවත් අවධාරණය කර සිටියේය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් පෙත්කසම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දුනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න