කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර !

කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර !

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ ය.

වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සහ නව කල්බදු ලබාදීමේ පදනම තීරණය කිරීම සඳහා 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණය යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඉඩම් ලබාදුන් පසු රජයේ අනුමැතියකින් තොරව තම කොටස් විකිණීමට වතු සමාගම්වලට ඉඩ නොතැබිය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉඩම්වල මැණික් ගැරීම ද ගැටලුවක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළයුතු බවද පැවසීය.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම තුළින් අපේක්ෂා කරන්නේ කෘෂිකර්මාන්තය ව්‍යපාරයක් ලෙස සංවර්ධනය කිරීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වතුකරයේ නිවාස ගැටලුව හා තේ, රබර් සහ පොල් කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු, සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කම්කරුවන් සඳහා ඉඩම් උප කොන්ත්‍රාත් ලබා දෙන නියමු ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) සම්බන්ධ ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය.

එමෙන්ම ඉරානයට ලංකා තේ අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි.

වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයින් වන විශ් ගෝවින්දසාමි, ආචාර්ය රොමේෂ් ඩයස් බණ්ඩාරනායක, චරිත රත්වත්තේ, නිරාජ් ද මෙල්, ක්‍රිෂාන්ත පෙරේරා, ලයනල් හේරත්, සංජය හේරත්, වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු, ලියෝන් ෆොන්සේකා, ලීලනාත් වික්‍රමආරච්චි, තරංගනී වික්‍රමසිංහ, ශ්‍රීමාල් විජේසේකර මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න