අද සිට ස්ටීම් අධ්‍යාපනය මෙරට අධ්‍යාපන පද්ධතියට

අද සිට ස්ටීම් අධ්‍යාපනය මෙරට අධ්‍යාපන පද්ධතියට

ලොව රටවල් 96 ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීම අද (31) සිදු කෙරිණි.

ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වාදීමේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් ප්‍රධාන වැඩසටහන අද (31) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේදී ය.

ඒ අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික විද්‍යා පදනමේ සභාපති, මහාචාර්ය රංජිත් සේනාරත්න යන අය හා තානාපතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

සෙසු පළාත් සඳහා ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර අමෙරිකාව 1999 දී හඳුන්වා දුන් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හරහා විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැළසෙයි.

මේ සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය විෂයන් ඇතුළත් වේ.

 අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත -

'' ඊළඟට අපි යන්නේ ලෝකයේ පරිවර්තනීය යුගයකට. අද සමහර රටවල් සැලසුම් කරනවා තාක්ෂණය යොදා ගන්නකොට රැකියා අහිමි වෙද්දි කොහොමද ඒ අයව කොහොමද ඒවට අනුගත කරගන්නේ කියන කාරණය. ඒවා තමය පර්යේෂණ. අපේ කොහොමද?අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඕනි දරුවෝ විශ්ව දැනුම ලබා ගන්න ඕනි අය ඒක පැත්තකින් තියලා පොලිසියෙන් කඳුළු ගෑස් කනවා පාර දිගේ. මේක වෙනස් වෙන්න ඕනි. සමහර කතා කරනවා අවුරුදු 75 ක් වෙනසක් වෙලා නෑ. ඔව්.. හැබැයි දැනුම අතින් අපි ඉහළයි. දැනුම යොදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි අපිට තියෙන්නේ. ඔබ හිතෙනවාද වෙනත් රටවල්වල ඔය ඔක්කොම විභාග මත මනින්නේ කියලා. දැන් මේක විශාල වදයක් වෙලා දරුවන්ට නේද.. ගුරුවරුන්ටත් එහෙමයි. කියන්නේ කොළ පුරවනවා ඉවරයක් නෑ කියලා. න්‍යාය, මූලධර්ම, සිද්ධාන්ත ඉතාම සරලව ක්‍රියාකාරකමත් එක්ක ලබා දෙනවා දරුවන්ට. කුමන මට්ටමකින් පාසලෙන් ඉවත් වුවත් ඔවුන්ට තනියෙන්ම සමාජිය අභියෝගවලට මුහුණ දෙන්න පුලුවන් ආකාරයට මේ අය හැඩැගැහෙනවා. ඒක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ මේ අධ්‍යාපන පරිවර්තනයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආදායමෙන් සීයට 62 ක් නිර්මාණය කරන්නේ ස්ටීම් අධ්‍යාපනයෙන් ආපු උදවිය. අපි තාම තේ පොල් රබර් ඔය ටික අපනයනය කරලා විදේශ විනිමය හොයන්න යනවා. ඊළඟට ලක්ෂ 12 ක් ඉන්නේ කවුද මැදපෙරදිග. නුපුහුණු ශ්‍රමිකයෝ. ඒ අයගේ විදේශ විනිමය මත අපි යැපෙන්න හදනවා. ඊට පස්සේ අපිට ණය ගන්න වෙලා තියෙනවා. නෑ අපේ සම්පත්වලට අගය එකතු කරන්න වෙනවා. ඒ සඳහා නිර්මාණකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනි. ඒක කුඩා කල සිටම පුහුණු කිරිම තමයි ස්ටීම් අධ්‍යාපනයෙන් වෙන්නේ. ඒ අනූව කිසිම දරුවෙක් විෂය ධාරාව අනූව මෙකෙන් ඉවත් වෙන්නේ නෑ.."

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙන් ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු අතර කෘත්‍රීම බුද්ධිය නිසා ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ මං සොයන ලෝකය සමග අප ද එක් විය යුතු බවත් නව අධ්‍යාපන පරිවර්තන හරහා මෙරට දරුවන්ට එයට මග සැලසෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

දැනුම අතින් ඉහළ ස්ථානයක සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවට සිය කුසලතා ඔප් නංවා ගැනීම මගින් ඊට අනුගත වීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ඉදිරියේ දී දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන මෙම නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ දෙස් විදෙස් සේවයේ නියුතු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්වතුන් සමග බුද්ධිමය සංවාද හා සාකච්ඡාවල යෙදෙමින් ප්‍රායෝගික ව විෂය සිද්ධාන්තමය දැනුම උකහා ගැනීමේ අවස්ථාව මෙරට පාසල් සිසුන්ට උදා වනු ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන‍ඥයන්, විද්වතුන් හා නිලධාරීන් මෙන් ම ප්‍රතිලාභී ශිෂ්‍ය ප්‍රජාව ද ඇගයීමට ලක් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න