Language Switcher

V2025

සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දෙනවා - ජනපති

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන් හිදී හමුදා සාමාජිකයින් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන් හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබාගැනීමට නියමිත බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

“අර්බුදකාරී කාලවලදී හමුදා වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙම අධ්‍යයන සැසිය සංවිධානය කර තිබුණි.

යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැගෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින අතර අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් -19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පැවසීය.

මෙරට හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති ප්‍රශංසනීය මෙහෙවර අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, 2016 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනය මේ වන විට පූර්ණ වෛද්‍ය සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති බවද පැවසීය.

මෙරට හමුදා වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිවරයාගේ දායකත්වය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇඟයීමට ලක් විය.