යල කන්නයට සියලුම ගොවීන්ට නොමිලයේ මඩ පොහොර

යල කන්නයට සියලුම ගොවීන්ට නොමිලයේ මඩ පොහොර

යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20 දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඬ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුලු බෝග වර්ග 13ක් වගා කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙතෙක් සේවය කළ කෘෂි විද්‍යාඥයින් බහුතරයක් මෙන්ම විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු රැසක් ඊයේ (20) සිට ඒකාබද්ධ වැඩ සටහනක් ආරම්භ කළහ.

මහනුවර ගන්නොරුව කෘෂිකර්ම සන්නිවේදන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  මේ බව සඳහන් කළේය.

මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයින පුරා බෙදා හැරීමට නියමිතය.

වගා කන්න 04කට පසුව සියලුම පොහොර එකවර ලැබෙන පළමු අවස්ථාව මෙවර යල කන්නය බව සඳහන් කළ අමාත්‍යවරයා මඬ පොහොර, යුරියා. හා බන්ඩි පොහොර ලබා දෙනු ලබයි. එමෙන්ම ගොවින්ගේ අවශ්‍යතාවය පරිදි කාබනික පොහොර ද ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් සකසා ඇති බව ද කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද පියවර ගන්නා බව සඳහන් කළේය.

2022 යල කන්නයේ මෙන්ම මෙවර මහ කන්නයේ ද වී අස්වනු ලැබී තිබෙන නිසා මෙම වසර තුළ රටෙහි කිසිදු අයුරකින් සහල් හිඟයක් මතු නොවන බවත්, එමනිසා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් යළි පැන නොනගින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර ජාතික කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑත කාලීන දායකත්වය -2023 නැමැති වාර්තාව අමාත්‍යවරයාට බාර දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න