Language Switcher

V2025

රනිල් කරන්න : බැරි නම් යන්න (video)

මේ දින වල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය.. ‘රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න‘ කියන එකය. නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපතිධුරය ලබා ගන්නා විට රට තිබුණ තැනත් දැන් රට තිබෙන තැනත් සලකා බලා විපක්ෂය රනිල්ට කරන්න බැරි නම් අයින් වෙන්න කියනවා විය යුතුය. පළාත්පාලන ඡන්දය ජයග්‍රහණය කර රනිල්ව එළවනවා කියා ජාජාබය, සජබය කියන්නේද රනිල් වැඩ නොකිරීමේ අවුල නිසා විය යුතුය.

මේ කියන විදිහට රනිල් රට බාර ගන්නා විට, රටේ තිබුණේ තෙල් පෝලිම්ය, ගෑස් පෝලිම්ය, බෙහෙත් පෝලිම්ය, කෑම පෝලිම්ය, පොහොර පොලිම්ය. ඒ අස්සේ විදුලිය පැය දහයකට දොළහකට කපමින් තිබිණි. බඩු මිල දරා ගන්න බැරි තරමට වැඩිවී තිබිණි. ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටෙමින් තිබිණි. ආදායම් මාර්ග අහිමි වූවන් බඩ ගින්නේ සිටියේ. මෙහෙව් රටේ ඉඳීමෙන් වගතුවක් නැතැයි කියමින් පාස්පෝට් පෝලිම් වල ලක්ෂගනනින් සිටියේය. කොටින්ම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී කර කියා ගන්න දෙයක් නැතිව රටෙන් දෙකෙන් පංගුවකට වඩා සිටියේ හෙට දවස ගැන කෙසේ වෙත්ත වේලක් කෑවොත් ඊලඟ වේල කන්නේ කොහොමදැයි සිතා ගන්න බැරිවය.

අනෙක් පැත්තෙන් පීඩාවන් දරාගැනීමට බැරිව මිනිස්සු අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගන් මැරෙන්න තරම් වියරුවකින් අරගලය ප්‍රචණ්ඩකාරීව රට පපුරා පැතිර තිබිණි. පොලිසියට ආරක්ෂක අංශවලට ඒ පාලනය කිරීමේ හැකියාව පවා අහිමිව තිබිණි. අරගලය රටේ නීතිය අතට ගෙන තිබිණි. රට අරාජික වීම දක්වා පාලනයකින් තොරව අරගලය දියත් විය. හිටපු පාලකයෝ වගකීම් අත්හැර පලාගොස් තිබිණි. රට බාර ගන්නැයි හිටපු ජනාධිපති ගෝඨා විපක්ෂයෙන් ඉල්ලීම පිට ඉල්ලීම් කළත් එය මඟ හැරිය විපක්ෂය නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පට්ට්යකුත් තව චුට්ටකුත් ඔනෙයි කියන්නා සේ ප්‍රායෝගික නොවන විවිධ කොන්දේසි දමමින් සිටියේය. විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකුව හිඳිමින් රනිල් රට භාර ගත්තේ මෙවැනි ව්‍යාකූල තත්වයක් හමුවේය. රනිල් ජනාධිපතිධුරය භාර ගන්නා විට තමන්ගේ එකම නිවසත් අරගලකරුවන් විසින් ගිණිතබා විනාශ කර තිබිණි. රාජ්‍ය මර්මස්ථාන අරගල ත්‍රස්තවාදයේ ග්‍රහණයට හසුව තිබිණි.

රනිල් නම් මේ ධෛර්යවන්ත මිනිසා, පරිණත දේශපාලනඥයා රට යළි ගොනැඟුමේ අසීරු අභියෝගය බාර ගන්නකොට තිබු එ වියවුල්කාරී තත්වය මාසයක් දෙකක් යන විට වෙනස් කිරීමට සමත් විය. විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් කඩිනම පියවරයන් ක්‍රියාත්මක කෙරිනි. එය විසඳිය හැකි බව පෙන්වා තිබිණි. බිංදුවටම වැටී තිබු රාජ්‍ය ආදායම් යළි උපදවාගැනීමට මෙන්ම හදිස්සයකට ඩොලරයක් සොයා ගන්න නැතිවෙන තරමට වැටී තිබුණු විදේශ සංචිත යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් කටයුතු කෙරිනි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබා ගත හැකි මානුෂීය ආධාර උපකාර ලබාගැනීම සිදු විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ගැනීම සිදුකළේය. එහි ණය ආධාර පැකේජය ලබාගැනීමේ සාකච්ඡා අවසන් අදියරකට ගෙන ඒමට මේ වන විට සමත්ව ඇත. ලෝක නායකයන්ගේ අවදානයට රටේ ප්‍රශ්න යොමු කර අවශ්‍ය සහයෝගයන් ලබාගැනීම වෙනුවෙන් පියවර රාශියක් ක්‍රියාත්මක කෙරිනි. රටේ ඉදිරි ගමන වෙනුවෙන්, මෙතෙක් ආ වැරදි පාර නිවැරදි කරමින් අලුත් බලාපොරොත්තුවක් සමඟ රට නිවැරදි පාරට ගැනීම සිදු කෙරිනි. අනාගත සංවර්ධනාත්මක ගමන වෙනුවෙන් අවශ්‍ය පදනම සකස් කෙරිනි. මේ සියල්ල විසින් යළි සාමාන්‍ය ජීවන රටාවට මිනිස්සුන්ට එන්න හැකියාවක් ලැබිණි. දුෂ්කර තත්වයන් යටතේ හෝ මිනිස්සු යළි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපේක්ෂ සහගත වන්නට විය. මේ දේවල් නැවත් නැවත් මතක් කරමින් අපට කියන්න වෙන්නේ රට මෙහෙම අර්බුදයකට ගොදුරුව තිබු බව මිනිස්සුන්ට නිතර අමතක වන නිසාය. නැතිනම් අමතක කරවන්න විපක්ෂය කටයුතු කරමින් සිටින නිසාය. කොහොම නමුත් දැන් රනිල් කර තිබෙන දේ පැහැදිලිය.

රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න යැයි විපක්ෂය කියන්නේ මේ දක්වා රනිල් කරපු දේවල් නිසා තිබුණ විනාශකාරී තත්වයන් වෙනස් වීම ඔවුන්ට දිරවන්නේ නැති නිසා විය හැකිය. ඒ නිසා ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකුලත්වය තවදුරටත් පවත්වාගෙන යෑම විපක්ෂය රනිල්ගෙන් බලාපොරොත්තු වූවට සැක නැත. කරන්න බැරිනම් අයින් වෙනන් කියන්නේ ඒ නිසාය.

විපක්ෂයට වුවමණා වුයේ ආර්බුද අතරින් එම අර්බුදයන් දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන බලයක් ගොඩ නඟා ගැනීමේ මළපෙරේත ආශාව මුදුන්පත් කරගැනීමම පමණි. රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මේතාක් විපක්ෂ පක්ෂ වලින් කිසිදු සහයක් ලැබී නැතිවීම, ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කිසිදු සහයක් ලැබී නැතිවීම මඟින් නැවත නැවත කියන්නේ ඔවුන්ට අවශ්‍යවවන්නේ රට මේ ජරාජීරණ වෙනන් දී බලය අත්පත්කර ගැනීමේ වුවමණාව ගැන පමණය. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන වන සිහිනය සැබෑවුණොත් එදාට හෝ අර්බුදයකින් තොරව ආණ්ඩු කරන්නටවත් අද මේ අර්බුදවලින් ගැලවිය යුතු බව විපක්ෂය කල්පනා කරන්නෙ නැත. අවශ්‍ය බලයම පමණි. මේ නිසා ඔවුන්ට අනුව තමන්ගේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් පත් කරගන්නා තෙක් කිසිදු අර්බුදයක් විසඳීම නොවිය යුතුව තිබු දේවල්ය. ඒ අනුව රනිල්ට කරන්න බැරි වූ දෙය එයය. ඔවුන්ගේ රනිල් විරෝධයේ පදනම එයය.

පසුගිය 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ ජඩ විපක්ෂය විසින් නොපිළිගන්නා ඔවුන් විසින් නොවිය යුතු දේවල් ලෙස පිළිගන්නා දේවල් රැසක් තමන් කර තිබෙන බව පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබිණි. අඩුම තරමින් රනිල් මේ මොනවාද කරන්නේ කියන්නේ කියා අසන්නට විපක්ෂය පැමිණ තිබුණේත් නැත. එසේම එම ප්‍රකාශයට ආදල විවාදයට හෝ විපක්ෂය සහභාගී නොවී මඟ හරිමින් තිබිණි.

රනිල් කරමින් සිටින්නේ වැරැද්දක් නම් නොකළ යුතු දේවල් නම්, අඩුම තරමින් රනිල්ට අභිමුඛ වී ඒ ගැන තමන්ගේ තිබෙන විරෝධය පළ කළ යුතුව තිබිණි. විවේචනය ඉදිරිපත් කළ යුතුව තිබිණි. වැරැද්ද අඩුපඩුව පෙන්වා දිය යුතුව තිබිණි. එහෙත් විපක්ෂය ආවේ නැත. ඒ රනිල්ට අභිමුඛ වන්නට ඇති බියද, අසමත් කමද, ලැජ්ජාවද, කොන්ද පණ නැති කමද, නැතිනම් තමන්ගේ වරදකාර හැඟිමද ? කියා පැහැදිලි නැත. සමහර විට ඒ සියල්ලම විය හැකිය.

කොහොමටත් අරබුදයෙන් රටත් ජනතාවක් ගලවා ගැනීම වෙනුවෙන් කළ යුතුදේ මේ යැයි කියන්න තරම් දෙයක් විපක්ෂය සතුව නැත. සජබයත් ජජබයත් රනිල් නැති තැන නැතිනම් ඔහුව මඟ හැර, තැන් තැන් වලට ගාල් වී රංචු ගැසී තමන්ගේ විසඳුම් නැතිනම් උත්තරය කියා කියවන්නේ රනිල්ගේ වැඩ පිළිවෙල ගැනය. රනිල් යන මාර්ගය ගැනය. නමුත් එය රනිල්ගේ කියා නොකියා සිටීමට පරිස්සම් වෙයි.

රටේ ආර්ථික අර්බුදය විසඳන මූලික ක්‍රියාමාර්ග ගැන ජාජබයෙ අනුර කුමාර කිසි ලැජ්ජාවක් හිරිකිතක් නැතිව තමන්ගේ විසඳුම් විදිහට ව්‍යාපාරික හමුවකදී කීවේ රනිල් දැනටමත් ක්‍රියාත්මක කර ඇති දෙයය. සජබයේ ආර්ථික ඔස්තාර්ලා කියා සිටින්නෙත් මේ යන මාර්ගය හැර වෙන විකල්ප නැති බවය. ඇතත්ම කතාව රනිල් මෙහෙම විසඳුම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණා නම් මේ නල්ලමලේ විපක්ෂයට කියන්න කිසිවක්ම ඇත්තේ නැත. තිත්තම තිත්ත ඇත්ත මෙයය. මැතිවරණ වේදිකා ගානේ මොන නරිවාදන් දෙඩෙව්වත් අර්බුදය හමුවේ රනිල් මඟ හැර, යන්න වෙන පාරක් නැති බව විපක්ෂයට කොහොමටවත් ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබෙන බව දැන් පැහැදිලිය.

ජනාධිපති රනිල් නිදහස් දිනයදා කියා සිටියේ,
“..අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ.
අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?
අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ.
අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ.. යනුවෙනි.

ජාතිය අමතා රනිල්ට මෙහෙම කියන්න තරම් කොන්දක් තිබුණත් එය පිළිගනන්වත් ප්‍රතික්ෂේප කරනන්වත් විපක්ෂය ඉදිරිපත් වුයේ නැත. නප්පියටම කෙළවෙලා තිබියදීත් තමන්ගේ හවුල්කාරිත්වයත් සමඟ වැරදි සිදුවූ බව පිළිගන්න විපක්ෂයට නොහැකි වීමේ තේරුම ඔවුන්ට මෙතැනින් එහාට ඉදිරි ගමනක් නැති බවය. වැරදි නිවැරදි කරගැනීමට සූදානමක් නැතිව නැවත නැවත ඒ වැරැද්දම වන්නට ඉඩ දෙන්නේ නම් රටට ඉදිරිගමනක් තිබිය නොහැක. කොහොම නමුත් මේ අය මැතිවරණ වේදිකාවල කරන නන්දෙඩවීම් වලින් පැහැදිලි වන්නෙ පරණ බංකොලොත් තියරි, වැඩ පිළිවෙලවල් සමඟ තවමත් රැඳි සිටින්න තිබෙන කැමැත්තය. ඒ ජනතාව චූන් කර රවටා බලය ගැනීමට තිබෙන කෑදරකමය.

රනිල් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, “මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා..“

 “..මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ..සිස්ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්..වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි…ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න..සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි..අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි..“ බවය.

මේ සරළ කරුණ තේරුම් ගන්න බැරිනම්, තවදුරටත් දේශපාලනය කියා කිසිවක් කිරීමෙන් පලක් නැත. රටට අවශ්‍ය සාමුහික ව්‍යායාමයකි. පක්ෂ ජාති ආගම් භේද තවදුරටත් අර්බුදය හමුවේ වලංගු නැත. අර්බුදය ඉල්ලා සිටියේම මේ ක්‍රමයේ වෙනසකි.
රනිල් කරන්න හදන්නේ ඒ වෙනසය. දැන් රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න කියන විපක්ෂයේ සටන කුමක්ද යනන් පැහැදිලි විය යුතුය.

-ඝෝෂක