Language Switcher

V2025

අවශ්‍යතා ඇති කිසිවකු මඟ නොහැර සහල් බෙදීමට ජනපතිගෙන් උපදෙස් !

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පවුල් 2 850 000ක් සඳහා ලබා දීමට රුපියල් බිලියන 20ක් වටිනා වී තොග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සහතික මිලක් ලබා දෙමින් වී මිල ආරක්ෂා කිරීමත් ඉන් අපේක්ෂා කරනවා.

මෙහි පළමු කටයුත්ත වන්නේ වී තොග මිලදී ගැනීමයි. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී තිබෙනවා. රජය සහල් අළෙවි කිරීමට පියවර ගන්නේ නැහැ. දුප්පත් පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමට රජය කටයුතු කරනවා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරනවා.

නමුත් මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “ සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කෙරෙනවා.

මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුයි.

ඉදිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිශ්චිත කාල රාමුවුක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට සැලසුම් කළයුතුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ සහාය ලැබී තිබෙනවා.

නමුත් දත්ත එකතු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. එම නිසා මේ පිළිබඳ දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමට බාධා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිඳු ඉඩක් නැහැ. මාර්තු 31 වන දා වන විට මෙම කටයුතු අවසන් කළ යුතුයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය,අනූප පැස්කුවල්, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික)ජෙනරල් කමල් ගුණරත්න, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරු රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ.