සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජයෙන් සහතිකයක් !

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජයෙන් සහතිකයක් !

ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කරයි.

ඒ අනුව, රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අලි සබ්‍රි අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැඟී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට බඳුන් වූයේ 1994 වර්ෂයේ දිය. එදා පටන් මේ වන තුරු ඔවුනට සාධාරණයක් ඉෂ්ට වී නොමැත.

එකී වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කරන මුත්, එකී කිසිඳු වගන්තියක් ඔස්සේ සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට එරෙහි ප්‍රකාශයක් අඩංගු නොවේ.

තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ නිර්වචනයක් ඇත්තේ ද නැත.

නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය විසින් මෙම වගන්ති අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකළ අවස්ථා ද තිබේ.

එවන් පසුබිමක් තුළ, විදේශ කටයුතු අමාත්‍යවරයා සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ සිව්වන චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න