එකම විකල්පය IMF පමණයි - මුදල් රාජ්‍ය ඇමති කියයි !

එකම විකල්පය IMF පමණයි - මුදල් රාජ්‍ය ඇමති කියයි !

රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිබෙන එකම විකල්පය ලෙස පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.

රටේ ජනතාවගෙන් අයකරනු ලබන උපයන විට බද්ධ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු දෙසිය විසිපස් දෙනාගෙන්ම අය කරන බව රාජ්‍ය මුදල් ඇමතිවරයා කියා සිටියේය.

තවදුරටත් අදහස් පල කළ ඇමතිවරයා මෙසේද පැවසීය. රටේ පවතින මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ආදායම් බදු වැඩිකර ගැනීමට සිදුවෙලා තියෙනවා. එය කිරීමට සෘජු බදු වැඩිකරගත යුතුයි. ඒ සඳහා තමයි උපයන විට බදු වැඩිකරන්න වෙන්නෙ. රටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා තියෙනවා. ඊට විකල්පයක් ලෙස තමයි මේ තීන්දුව අපට අකමැත්තෙන් වුවත් ගන්න සිදුවෙලා තියෙන්නෙ. රටේ ප්‍රජාවට මේ වගේ වෙලාවක ලොකු පීඩනයක් දරාගන්න සිද්ධවෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැනුවත්වයි ඉන්නෙ.

රටේ ජනතාව අකමැති දේවල් කරලා ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන්න කිසිම පාලකයෙක් කැමති වෙන්නෙ නැහැ. නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට නම් වෙනත් විකල්පයක් මේ වෙලාවේ අපට නැහැ. කෙසේ හෝ රාජ්‍ය ආදායම ගොඩනැගීම කළ යුතුයි.

රට ආර්ථික වශයෙන් පත්වී ඇති ව්‍යාසනකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර දිනපතා අපි නිරීක්ෂණය කරනවා ජනතාවට සහනයක් දෙන්නෙ කොහොමද කියන කාරණය.

රටේ සමස්ථ ආර්ථිකය සෘණ 11 තිබියදී තමයි අප නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරල තියෙන්නෙ. රටේ ජනතාවගේ පරිභෝජනය වගේම ආදායමත් අඩුවෙලා. සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ අහන ප්‍රශන්ය තමයි අපිට අභිමානයෙන් ජීවත් විය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වන්නේ කවදාද කියන ප්‍රශ්නය. මේ වන විට පවතින මෙරට ආර්ථිකය අනුව මෙම වසරේදී අප බලාපොරොත්තු වන්නේ ආර්ථිකය මේ සිටින තැන සිට සෘණ 3.5ත් සෘණ 4ත් අතර පරාසයක පවතීවි කියලා.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි 2024 ආර්ථික වශයෙන් ශක්තිමත් වර්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවකයින්ට යම් බලාපොරොත්තුවක් තබාගත හැකි වර්ෂයක් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

රජයේ ආදායම සහ වියදම් පරතරය වැඩි වූ විට මුදල් අච්චුගැසීම මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වන අතර නව රජය යටතේ එම කටයුත්ත නතර කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙතෙක් පැවති බදු ඉහළ දැමීම මිස නව බදු පනවා නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් පවුල් ලක්ෂ 39ක පිරිස තමන්ට ජීවත්වීම සඳහා රජයෙන් උදවු ඉල්ලන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා තිබෙන එකම විකල්පය ලෙස පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම බවද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේ කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් ණය පොළී අඩුකර ගැනීම, ණය කපා හැරීම ආදී විකල්ප ක්‍රියාමාර්ග සඳහා ණය හිමි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

විදේශ රාජ්‍යයන් සමග එවැනි එකගතාවයන්ට පැමිණීමේදී එම රටවල රජයන් සහ එම රටවල බදු ගෙවන ජනතාවට අපට සහන ලබාදීම සඳහා කැපවීම් කිරීමට සිදුව තියෙන බව සඳහන් කළ ඇමතිවරයා ඒ පදනමින් අපරටවැසියන්ට ද කැපකිරීම් කිරීමට සිදුව තිබෙන බව පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න