ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් ලබා ගනිමින් තම වැටුප රුපියල් 850000.00 දක්වා වැඩිකරගෙන ඇති බවත් ඒ සම්බන්ධව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවද වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මෙම වැටුප් වර්ධකය 160%ක වර්ධකයක් වන අතර ඊට අදාලව ලැබීඇති පැමිණිලි පදනම් කරගනිමින් මේ වන විටත් එම අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජයවර්ධන විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
එසේම අදාළ පැමිණිල්ල සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කිරීමට අමාත්‍යංශ ලේකම්වරිය කටයුතු කර තිබෙන බවත් එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් වැටුප් වැඩි කර ගැනීමට නොහැකි බව පෙන්වාදීමටද ඇය කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
අදාළ වැටුප් වර්ධකය ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ ලබාගෙන ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයද නොමග යවමින් බවත් ඒ සම්බන්ධවද මේ වන විට අනාවරණයවී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ වැටුප් වර්ධකය හරහා ලබාගත් අතිරික්ත මුදල නැවත අයකර ගන්නට තීරණය වී ඇති බවත් විමර්ශන අතරතුර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහව තනතුරින් ඉවත් කිරීමටද නියමිත බවය.