Language Switcher

V2025

විදුලි බිල ගැන කැබිනට් තීන්දුවේ වෙනසක් නෑ : PUCSL වෙතත් දින දීලා !

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී ඇත.

මේ බව අද (10) අනාවරණය කෙරුනේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවස්ථාවේය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ, කිසියම් සංශෝධනයක් කළ යුතුවන්නේ නම් 2023 පෙබරවාරි මස 15 වනදිනට හෝ එදිනට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කළ යුතු බවය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ ගාස්තු වැඩිකිරීම ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි. මහජන උපයෝගීතා කොමිසම තාර්කික පදනමක් යටතේ මේ තත්ත්වයෙන් ගැළවෙන්න අදාළ වෙන ආකාරයට යම් යම් සහනයන් සැලසිය හැකි නම්, ඒවා නිර්දේශ කරන්න කාලය ලබාදීලා තියෙනවා 2023.02.15 දින දක්වා. එතෙක් විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනයන්ට අනුව අන්තර්කාලීන පියවරක් වශයෙන් 2023.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම් සභාව එක්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය දැනුම්දුන්නා.

මහජන උපයෝගීතා කොමිසම සංශෝධන ඉදිරිපත් කළොත්, එකී සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඉදිරි මාසික විදුලිය බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට ප්‍රතිපත්තියක් ලෙස දැනුම් දුන්නා 2023 වසරේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව මහජනතාවට විදුලිබලය ලබාදිය යුතු බවත් මිල වෙනස්කම් සිදුවන විට ලෝක වෙළෙඳපොළේ ගල්ඇඟුරු මිල, ඛනිජ තෙල් මිල වෙනස් වුණොත්, වර්ෂාව ලැබුණොත් එහි වාසිය මහජනතාවට ලබාදෙන්න බලශක්ති ඇමතිට කිව්වා මිල සුත්‍රයක් සෑම මාස 6කටම වරක් හඳුන්වා දෙන ලෙසත් උපදෙස් දුන්නා."

උපයෝගීතා කොමිසමේ සභාපති කියන කතාව

කෙසේ වුවත් මෙම කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ, කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බවය.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කල අතර විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවත් එහෙයින් ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙසේද පවසා ඇත.

"අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් වියයුතු නම් එය පෙබවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නේ තියන්නේ අපිට මේ යෝජනාව ලැබුණේ ඊයේ. මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක - 50ක කාලයක් යනවා. ඒ ක්‍රමවේදය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව සාධාරණ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක්, මේ පනතේ තියෙන ආකාරයට ලබාගන්නා සියලුම වියදම් අයකර ගන්නා ක්‍රමවේදයකට, ඒ කටයුත්ත ඉදිරියේ කෙරෙනවා ඇති. ඒ වගේම අපි කතා කරනවා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍යයි කියලා. ඒ පිළිබඳ අවධානය යොමුකරනවා.

හැබැයි අපි කැබිනට් පත්‍රිකාවේ දෙවැනි ජේදයේ තියෙනවා මේ මාර්ගෝපදේශයන්ට අනුව මේ සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් 2023 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය යෝජිත විදියට කරන්න ඕනේ කියලා. අතීතයට බලපාන විදියට විදුලි බිල සංශෝධනය කරන ක්‍රමවේදයක් නෑ. ඒ වගේම අන්තර්කාලීන විදුලි බිල සංශෝධනයක් කිරීමේ හැකියාවකුත් නෑ. පනත අනුව. ඒ අනුව අපි කරන්නේ ඊයේ ලැබුණ යෝජනාව අනුව මේ අවුරුද්දට තියෙන විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන් කියන එක අනුව ඉදිරියේ දී එවලා තියෙන යෝජනාව අපි සැලකිල්ලට භාජනය කරනවා."