පුංචි ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනක වියදම බිලියන 72ක් : කොහේ තියෙන සල්ලිද මේ ?

පුංචි ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනක වියදම බිලියන 72ක් : කොහේ තියෙන සල්ලිද මේ ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ජනතාවගේ දුක ගැන කිඹුල් කඳුළු හෙලන දේශපාලන පක්ෂ සැබෑ ලෙසම ජනතාවට ආදරේ නම් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවන්නට පාවිච්චි කළ නොහැක්කේ මන්දැයි ඔවුන් එහිදී ප්‍රශ්න කර ඇත.

දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මෙම වියදම දරන්නට සිදු වනුයේ මැතිවරණය සඳහා රජයට දරන්නට සිදුවන වියදමට අමතරව බව ද අදාල විශ්ලේෂක කණ්ඩායම රජයට යොමු කළ ලිපියේ සඳහන් වේ.

ආර්ථික විශ්ලේෂක කණ්ඩායම සංඛ්‍යා දත්ත සහිතව කරුණු දක්වමින් සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී එක අපේක්ෂකයකුට අවම වශයෙන් රුපියල් ලක්ෂ තිහක් වියදම් වෙතියි උපකල්පනය කළහොත් එක දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් 8000 සඳහා බිලියන 24 ක් හෙවත් රුපියල් කෝටි 2400ක් වියදම් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් මෙලෙස එක් පක්ෂයකින් බිලියන 24 බැගින් රුපියල් බිලියන 72ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන බව ආර්ථික විශ්ලේෂක වාර්තාවේ සඳහන් වේ. අත් පත්‍රිකා මුද්‍රණයේ සිට මුද්‍රණ කටයුතු ආදී අනෙකුත් වියදම් ගත් කළ එක් අපේක්ෂකයෙකුට මෙවැනි මුදලක් වැයවෙනු ඇතැයි ඔවුන් ගණන් බලා තිබේ.

මෙම මුදල සමෘද්ධිය ලබා දීමට රජයට වැයවන වියදමෙන් සියයට 50ක් පමණ බව පවසන ආර්ථික විශ්ලේෂක කණ්ඩායම රට දරුණු ආර්ථික අනතුරක පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනාගෙන වැඩ නොකලොත් රටේ සමස්ත ජනතාවට ම එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇතැයි සඳහන් කරයි.

රජයට කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ ළමා මන්දපෝෂණය කුසගින්න දරිද්‍රතාවය සහ විරැකියාව වැඩිවෙමින් පවතින සමයක දේශපාලන පක්ෂ මෙන්ම රජය කළ යුත්තේ යම් කැපකිරීමක් කොට ආර්ථීකය නැමැති කෝච්චිය හරි පීල්ලට දමා ගැනීම බවයි.

මේ මොහොතේ පටු දේශපාලන වාසි තකා කටයුතු කළහොත් මෙතෙක් පසුකර පැමිණි යුගයටත් වඩා අන්ත තත්ත්වයකට රට ඇද වැටීමට ඉඩ තිබෙන බව ද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජනතා නියෝජිතයන් යැයි කියන අය ඡන්දයක දී වියදම් කරන්නේ ජනතාවගෙන්ම වංචා කළ මුදල් යැයිද ඔවුන් එලෙස මුදල් වියදම් කරන්නේ වියදම් කලා මෙන් තවත් කිහිප ගුණයක් ජයගත් පසුව ඉපයීමේ අරමුණින් යැයිද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජයග්‍රහණය කරනවා යැයි සිතන පක්ෂයක් වටා ව්‍යාපාරිකයන්ද පෙළ ගැසෙන්නේ ජයගත් පසුව තවත් මල්ල තර කර ගැනීමට බව කී විමලරතන හිමියෝ මෙවැනි විකෘති තත්ත්වයන්ට මුහුණදීමට ලංකා ආර්ථිකය ශක්තිමත් නැති බව රජය අවබෝධ කර ගත යුතු යැයිද සදහන් කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න