පුංචි ජන්දය මාස 4කට කල් යයි ?

 පුංචි ජන්දය මාස 4කට කල් යයි ?

යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වන දිසාපතිවරුන් 7 දෙනකු විශ්‍රාම ගැනීම හෝ ස්ථාන මාරු ලැබීම, වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම යන හේතු මැතිවරණය කල් දැමීම සඳහා සලකා බැලෙන ප්‍රධාන හේතු බව වාර්තා වන බවද එහි සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනා අතර පූර්ණ එකඟතාවක් නොමැති බවට වාර්තා වන තොරතුරද ඡන්දය කල් දැමීමට හේතු වී ඇතැයි දැනගන්නට ඇති බවද වාර්තා කරන එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ගැනීම සඳහා පැවැත්වූ කොමිෂන් සභා රුස්වීමේදී සභාපති නිමල් පුංචිහේවා, සාමාජිකයන් වන එම්.ඒ. මොහොමඩ්, පී.එස්.එම්. චාල්ස්, කේ.පී.පී. පතිරණ හා එස්.බී. දිවාරත්න යන මහත්ම මහත්මීන් අතර බෙදීමක් හටගෙන ඇතැයි පසුගියදා මාධ්‍ය මගින් ද වාර්තා කර තිබිණි

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්ත්වය ගැන මැතිවරණ කොමිසම කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. ඒ ගැන නීතිපතිවරයාගේ මතයද විමසා ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව නම් සඳහන් කිරීමට අකමැති වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සියලු දෙනාගේ පූර්ණ එකඟතාව මත මැතිවරණය ප්‍රකාශ කළ බවය. අවශ්‍ය නම් ඒ ගැන ඔවුන්ගෙන් විමසා බලන ලෙස ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව අප මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් කිහිප දෙනකුම ඇමතූ නමුත් පිළිතුරු දුන්නේ කොමසාරිස් කේ.පී.පී. පතිරණ මහතා පමණි. ඔහු සඳහන් කළේ තමන් ඇතුළු කොමිසම ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව කටයුතු කර ගැසට් පත්‍රය නිකුත් කළ බවය.

කෙසේ හෝ පවත්නා ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණ පනතේ අංක 76(අ) වගන්තිය අනුව ඡන්දය මාස 4කින් පමණ කල් දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න