"සුබ පැතුම් ලැබුණත් කෝටියක් : ඒත් නෑ සුබ වෙන හැඩක්" - අනුර කියයි

"සුබ පැතුම් ලැබුණත් කෝටියක් : ඒත් නෑ සුබ වෙන හැඩක්" - අනුර කියයි

ආර්ථික අර්බුදය මැද ගොඩනැගෙන හවුල් ආණ්ඩුවේ දේශපාලන අර්බුදයද අද ජනතාව හමුවේ නාට්‍ය ජවනිකා ලෙස දිගහරිනු ලැබෙමින් තිබෙන බවත් ගැඹුරටම ඇදෙමින් ඇති සමාජ ආර්ථික දේශපාලන අර්බුදය මැද අලුත් අවුරුද්දේ තම ජීවිත හා තම දරු පවුල් සම්බන්ධ නව බලාපොරොත්තු ජනතාවගෙන් දුරස් වෙමින් තිබ ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජවිපෙ නායක පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ බව සඳහන් කරන අතර ජනතාවට බල කෙරී ඇත්තේ තමන් පෙළන ගැටලු අමතක කර මේ හාස්‍යජනක ජවනිකා බලමින් සතුටු වීමට බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එසේම වංචා – දූෂණවලට, මිනිස් ඝාතනවලට, මහා පරිමාණ සොරකම්වලට වගකිව යුතු පැවති පාලනයන්ට සම්බන්ධ කොටස් ඒ සියල්ල යටපත් කර ගැනීම වෙනුවෙන් ඉක්මනින් බලයට පැමිණීමට මාර්ග සොයමින් සිටින බව පෙන්වාදෙන එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව ඇත්තේ ජාතිවාදය වපුරමින් නැවතත් ලාංකේය සමාජය ලේ ගංගාවක ගිල්වීමේ කූට උත්සාහයක්ද ඒ තුළ ක‍්‍රියාත්මක බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

කෙතරම් එකිනෙකට සුබ පතා ගත්තද අලුත් අවුරුද්ද සුබවීමේ ඉඩක් නැත්තේ මෙම තත්වය තුළය. විශේසයෙන් පසුගිය කාලය පුරාවටම අලුත් අවුරුදු කාලය තුළ එකිනෙකා සමග හුවමාරු කරගන්නා ලද සුභ ප‍්‍රාර්ථනා එලෙසින් ඉටු නොවීමේ හේතු ජනතාව විසින් ගැඹුරින් සොයා බැලිය යුතුව තිබේ. තමන් පෙළමින් ඇති ගැටලු සැබෑවටම විසඳීම සඳහා රට රැගෙන යමින් ඇති දුෂ්ට චක‍්‍රයෙන් මුදාගැනීමට ජනතාව පෙරට ආ යුතුව ඇති අතර අලුත් අවුරුද්දේ අර්ථය සැබෑ ලෙසම අරුත් ගැන්වෙන නව ගමනක් රටට ලබා දිය යුතුව තිබේ.

විනාශකාරී ගමනක මෙතෙක් රට රැගෙන ආ සහ තවමත් රැගෙන යමින් ඇති නව ලිබරල්වාදී දුෂ්ට ආර්ථික ක‍්‍රමය හැරෙන්නට මෙම ආණ්ඩුවලට වෙනත් ගමනක් නැත. එසේම ජනතාවට නව ජීවිතයක් ලබාදීම සඳහා වන ආර්ථික උපායමාර්ගයක්ද මෙම පාලකයින් සතුව නැත. දෛනික ආර්ථික අර්බුදය මැද ඔවුහු රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට පැවරීමෙන් තාවකාලික විසඳුම් සොයති; ජනතාව මත බදු මත බදු පටවමින් ජනතාවගේ සාක්කුවේ ඇති අවසන් රුපියලද එකතු කිරීමේ මාර්ග සොයති. ඒ, මේ පාලකයින් විසින් සෑම පුරවැසියෙකුම ලක්ෂ පහකට ආසන්න ණයකරුවෙකු කර රට රුපියල් කෝටි දසලක්ෂයකට ආසන්න ණය බරක ගිල්වා දමා තිබියෙදීය. අද එම බර ගෙවීමේ වගකීම පටවා ඇත්තේ ඊට වගකිව යුතු නැති පොදු ජනතාව මතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න