Language Switcher

V2025

අනාගතයේදී ගෝලීය ගැටලු වලට මුහුණ දෙන්නේ කෙසේද ? ජනපති පහදයි !

අනාගතයේදී ඇති විය හැකි ගෝලීය ගැටලුවලට මුහුණදීමට නම් ඉන්දියානු සාගරය මෙන්ම ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර සමගිය සහතික කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

යුක්‍රරේන - රුසියානු යුද්ධයේ බලපෑම ඉදිරියේදී මෙරටට ද දැනිය හැකි බැවින් ආහාර සුරක්ෂිතතාව ඇති කර ගනිමින් ස්වයංපෝෂිත වීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ 97 වන කණ්ඩාය‍මේ පාඨමාලාව අවසන් කළ කැඩෙට් නිලධාරීන්ගේ අවසාන ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පසුගියදා 16 වනදා එම විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ඉතා ගැඹුරු අධ්‍යයන පාඨමාලාවක් අවසන් කළ ඔබට යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමට මට ආරාධනා කර අපේ හමුදාපතිතුමා මාව අපහසු තත්ත්වයකට පත් කර තිබෙනවා.

ඔබ මෙම විෂය සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යයනය පිළිබඳවත් සිදු කළ ඉදිරිපත් කිරීම් පිළිබඳවත් මම අගය කරනවා. එය ඔබගේ අධ්‍යයන සහ පර්යේෂණ කිරීමට ඇති කැපකිරීම මනාව පැහැදිළි කරනවා. කිසිම යුද්ධයක එහි තිබෙන වාතාවරණය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් නොකර ජයග්‍රහණය කළ නොහැකියි.

ඔබ එය නොකඩවා කළ යුත්තේ අද යුද්ධය හුදු ආයුධ මගින් කෙරෙන ගැටීමක් නොවන නිසයි. එය සෙවණැලි යුද්ධයක් විය හැකියි. ඒ වගේම ප්‍රොක්සි යුද්ධ පවා තිබෙනවා. මේ සියල්ල ඔබ අධ්‍යයනය කළයුතුයි. යුද්ධයක් හට ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳී යන අවස්ථාවකයි. එවිට ඔවුන් යුද ආයුධමය ගැටුමකට මුලපුරනවා.

ගෙන්ජිස් ඛාන් සහ ඊට පසුව සිදුවු දේත් සෝවියට් සංගමය සහ ඔවුන්ගෙන් පසුව ඇති වූ රුසියානු අධිරාජ්‍ය එම රටවල්වල ජනගහණයේ සිදුකළ වෙනස්කම් පිළිබඳවත් ඔබ ඉතිහාසයේ දී අධ්‍යයනය කර තිබෙනවා.

මෙම රටවලට පවතින්නේ පොදු උරුමයක්. ඔබ මතක තබා ගත යුතු තවත් කරුණක් තිබෙනවා. ඒ දෙවැනි ලෝක යුද්ධයේ දී ස්ටාලින්ග්‍රෑඩ් සිට ඉදිරියට සිදු කළ රුසියානු යුද්ධයන් සිදු කරන ලද්දේ යුක්‍රේන භූමියේ බවයි. ඒ වගේම සෝවියට් සංගමයේ ස්ටාලින්ගෙන් පසු බිහි වූ නායකයන් දෙදෙනෙක් වන කෟෂෙව් (Khrushchev) සහ බ්‍රෙෂ්නෙව් (Brezhnev) බිහි වූයේ යුක්‍රේනයෙන්. මේ කාරණාත් මෙම රුසියාවේ උග්‍ර බේදීයාමට හේතු සාධක වූ බව පෙනී යනවා.

යුද හමුදාපතිවරයා පවසන අන්දමට මෙයින් අපට සෘජු හමුදාමය බලපෑමක් සිදු වන්නේ නැහැ. නමුත් මෙහිදී අධ්‍යයනය කළ හැකි දේ තිබෙනවා. මේ පිළිබඳ මට එක්සත් ජාතින්ගේ සංගමයේ මහලේකම් සහ තවත් රටවල නායකයන් කිහිප දෙනෙකු සමග ඊජිප්තුවේ දී කතා කිරීමට අවස්ථාව ලැබුණා.

එම සාකච්ඡාවේ සාරාංශය වූයේ රුසියාව සාම්ප්‍රදායික නොවන, උපායමාර්ගික යුද්ධයකට යොමූ වූයේ ඇයි ද යන්නයි. එම නිසා රුසියාවට ඒකාබද්ධ විධානයකට පැමිණිය නොහැකි වීම පුදුමයට කාරණකාවක් නොවන අතර, යුක්‍රේනයටත් එසේ කළ නොහැකි වුණා.

එහෙත් යුක්‍රේනය බ්‍රිතාන්‍ය මගින් ගොඩනගන ලද ඒකාබද්ධ විධානයකට දැන් යොමු වී තිබෙනවා. යුක්‍රේනයට ශක්තිය ලැබුනේ ඔවුන්ගෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව බලාපොරොත්තු වෙන්නේ කියෙව් නගරය අත්පත් කර ගැනීම සහ ඉක්මණින් යුද්ධය අවසන් කිරීමයි. රුසියාව කියෙව් නගරයට අවතීරණ වීමේ දී මුහුණ දුන් විශාලම ගැටලුව වූයේ ඔවුන් ක්‍රමෝපායික යුද්ධයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හේතුවෙන් ඔවුනට ලැබෙන උපකරණ ඇතුළු සැපයුම් ප්‍රමණවත් නොවීමයි.
සාම්ප්‍රදායික යුද්ධ සඳහා ඔවුන් සතුව තිබූ උපකරණ පිළිබඳ බැලුවේ නැහැ. එමෙන්ම ඔවුන්ට සැපයුම් ලැබුණ මාර්ගය දූෂිත ක්‍රම‍වේදයක් වූ නිසා අත්බෝම්බ 100ක් අවශ්‍ය තැනට ලැබුණේ 90ක් පමණයි. ඔවුන්ට ආයුධ හා පතරොම් හිඟයකට පවා මුහුණදීමට සිදු වුණා. ඊට අමතරව එහි පුපුරා නොයන අත්බෝම්බ ද ක්‍රියාත්මක නොවන තුවක්කු ද ඔවුන්ට ගැටලුවක් වුණා.

එහිදී අවංකභාවය සහතිකවීම සහ යහපත් සැපයුම් ක්‍රියාවලියක් පවතින බව සහතිකවීම අත්‍යාවශ්‍ය බව පෙනී යන්නක්. මෙලෙස කියෙව් නගරය අත්පත් කර ගැනීමට ඇති නොහැකියාව නිසා එක පාර්ශවයකටත්, තවත් ජයගත නොහැකි යුද්ධයක නවමු ආරම්භයක් අපට පෙනෙන්න තිබෙනවා. ඔබ දකින්න ඇති යුක්‍රේනය ඔවුන්‍ගේ යුද ටැංකි ආයුධ සහ මිසයිල භාවිතා කළේ කොහොමද කියලා.

ඔබ අපට ලබාදුන් දත්ත අනුව යුක්‍රේනය සතු අවි ආයුධ මෙන් දෙතුන් ගුණයක් ‍රුසියාව සතු බව පෙනී යනවා. නමුත් සන්නද්ධ යුදමය වාහන ගැන අවධානය යොමු කිරීමේ දී යුක්‍රේනයට තිබුණේ රුසියාව මෙන් අඩක ප්‍රමාණයක් බවත් පෙනී යනවා.

ඒ නිසා කල්පනා කළ යුතු කාරණය වන්නේ, රුසියාවේ හමුදාවෙන් අඩක් හෝ ඊටත් වඩා රුසියාවෙන් පිටත යුක්‍රේනයේ ‍යොදවා තිබෙන බවයි. එහි ඔවුන්ට වාසිසහගත තත්ත්වයක් තිබුණා.

මෙම උපාය මාර්ගයෙන්ගෙන් ඔබට අධ්‍යයනය කිරීමට ඇත්තේ කුමක්ද, එහි පළවිපාකයන් මොනවාද? අපි ආර්ථිකයෙන් අරඹමු. අපිට මෙහිදී ගැටලු දෙකක් පවතිනවා. පළමුවැන්න විදේශ විනිමය අර්බුදය, දෙවැන්න ආහාර අර්බුදය. යුක්‍රේන තත්ත්වය නිසා ඇති වූ ආහාර අර්බුදයේ බලපෑම අපට මෙම වසරේ දැනුනේ නෑ. නමුත් ලබන වස‍රේදී එය අපට දැනෙන්නට පටන් ගනීවි. එසේ වන්නේ ඔවුන් ලෝකයේ ධාන්‍යාගාරය වන යුක්‍රේනය බිඳ දැමීම නිසයි. අපි රුසියාවෙන් හාල් ඇටයක්වත් මිලට ගන්නේ නැහැ. අපිට දැනට තිබෙන්නේ දේශීය වශයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයක්. නමුත් මෙය අනාගතයේ දී උග්‍ර විය හැකියි. ඒ නිසා ලංකාව ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අපි ලබන වසරටත් ඉන් පසුවටත් ආහාරවලින් ස්වයංපෝෂිත වීමට උත්සාහ දරමු.

හාල් සම්බන්ධයෙන් ගත් කළ අප දැනට මහ කන්නය නිසා ස්වයංපෝෂිත තත්ත්වයක් ලබා තිබෙනවා. නමුත් ලබන වසරේ දීර්ඝකාලීන නියඟයක් ඇතිවුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳව කණගාටුවට පත් වෙන්න වෙයි. ඒ නිසා අපි ආහාර සුරක්ෂිතතාව සහ දැනට ඇති තත්ත්වය වඩා හොද තත්ත්වයකට පත්කර ගැනීම සඳහා අවධානය යොමු කළයුතුයි.

අනෙක් ගැටලුව වන්නේ රුසියානු උපායමාර්ගයයි. ඔවුන් උත්සාහය වන යුක්‍රේන ආර්ථිකය බිඳ දැමීම දැනටමත් ඔවුන් සාර්ථකව සිදු කරමින් සිටිනවා. යුක්‍රේනයේ ධාන්‍ය වගා කිරීම සඳහා භාවිතා කළ සියලු ඉඩ කඩම් දැන් යුද පිටියක්. එහි වපුරා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමට වසර ගණනාවක් ගතවෙයි. ඇති අතර ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශ පවිත්‍ර කිරීම තවමත් සිදුවන බව අප අමතක කළයුතු නැහැ.

යුක්‍රේන ආර්ථිකයට මෙමගින් වූ බලපෑම ඩොලර් ට්‍රිලියනයක් පමණ වූ බව විශ්වාස කෙරෙනවා. යුක්‍රේනයට යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගතවනුඇති අතර රුසියාවත් එපමණ නොවුනත් යම් ආකාරයක හානියකට මුහුණ දී සිටිනවා. නමුත් ඔවුන්ට යුක්‍රේනයට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත්විය හැකියි.

රුසියාවේ ශක්තිය වන්නේ ඔවුන් සතුවන තෙල් සහ ඉන්ධනයි. මේ වන විට රුසියාව සහ සෞදි අරාබිය ලොව සිටින ප්‍රමුඛ පෙළේ ඉන්ධන නිෂ්පාදනකරුවන් වනවා. ඔවුන් මේ වන විට ඔවුන්ගේ නිෂ්පාදන අඩු කිරීමට අදිටන් කර ගෙන සිටිනවා. මෙලෙස තෙල් මිල වැඩිවන විට ඒ සඳහා මුදල් නැති වන්නේ අපිටයි. මෙම තත්ත්වයටත් අපට ලබන වසරේදී මුහුණ දීමට සිදු වෙනවා.

මෙම යුද්ධය දැන් යුද පිටියෙන් ආර්ථිකයට, ආහාර සැපයුමට, පොහොරවලට සහ ඉන්ධන වෙතට විතැන් වෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය කුමන ආකාරයකින් බලපායිද යන්න විවෘත ප්‍රශ්නයක්. එයට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද ද යන්න සම්බන්ධයෙන් දැන් සිටම අපි සූදානම් විය යුතුයි. පෙබරවාරි සහ මාර්තු මාසවල දී තෙල් මිල ඉහළ යාමක් සිදු විය හැකියි. අතර අප එයට මුහුණ දිය යුතුයි.

එසේ වන්නේ නරක ආර්ථික කළමනාකරණය නිසා සිදුවී ඇති ණය ගෙවීම් අර්බුදයට අමතරවයි. එය අපට අර්බුදයකට මුහුණදීමට සිදුවන තවත් තත්ත්වයක්. අපි මේ වන විට එම අර්බුදයන්ට මුහුණදිම සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා. එමෙන්ම අපේ කලාපයට බලපාන තවත් ක්ෂේත්‍රයක් වන්නේ නිෂ්පාදන බලපෑමයි. අප එයට මුහුණ දෙන්නේ කොහොමද?

අපි මේ අත්දකිමින් සිටින්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව තිබුණු රුසියාව සහ ඇමරිකාව බලවතුන් වූ ලෝක තත්ත්වයෙහි බිඳ වැටීමයි. මෙම නවමු තත්ත්වය කොමියුනිට්ස්වාදයේ බිඳවැටීම දක්වා පැවතුණා. ප්‍රථමයෙන් එය ඇමරිකාව සහ රුසියාව බිඳවැටීම ලෙස පෙනී ගිය අතර, දැන් එය යුරෝපය සහ රුසියාව ලෙස පෙනී යනවා.

දෙවනුව ඇමරිකාව සහ චීනය අතර ද එවන් තත්ත්වයක් දැකිය හැකියි. එමෙන්ම ඇමරිකාව තුළ ජනාධිපති ට්‍රම්ප්ට රුසියාව උපකාර කළ බව මතක තබාගත යුතුයි. එය රුසියාවේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී පෙනෙන්නට තිබුණා. එය අපට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය යුද්ධය දෙස බැලූ ආකාරයෙන් පෙනී යනවා. ඒ නිසා මේ තත්ත්වය යටතේ අපට දක්නට තිබෙන්නේ ලෝකයේ පැවතුම් පිළිවෙළ බිඳි යන බවත්, එහි අධිකාරිත්වය ඉන්පසුව ලබන්නේ කවුරුන්ද යන්නත් ගැටලුවක්. මෑතකදී ජනාධිපති බයිඩින් සහ ජනාධිපති ෂී අතර සාකච්ඡාවක් පැවතුණ අතර තාවකාලික ‍අන්‍යොන්‍ය අවබෝධයකට පැමිණ බවක් පෙ‍නෙන්නට තිබෙනවා.

ඒ වගේම මේ තත්ත්වය තවත් යුරෝපීය ගැටලුවක් වෙමින් යුරෝපය යුද්ධයකට යොමුවන බවකුත් පෙනී යනවා. ලෝකයේ අනෙක් කොටස් එයින් ඉවත් කර තැබෙන අතර ආසියාව විශේෂයෙන්ම දකුණු ආසියාව සහ අප්‍රිකාව එයින් ඉවත් වී ඇත්තේ මෙම ගැටළුව සම්පුර්ණයෙන්ම යුරෝපීය ගැටළුවක් බවට පරිවර්තනය කරමින්.
මෙම යුද්ධයට අපිව සම්බන්ධ කර ගැනීමට ගැණුනු උත්සාහයක් සාර්ථක වී නැහැ. නමුත් මේ පිළිබඳ අපි අවධානයෙන් නොසිටියහොත් මෙය ලබන වසරේදී ගෝලීය ගැටලුවක් බවට පත්වනු නොඅනුමානයි. ඒ නිසා ආසියාව විශේෂයෙන් ඉන්දියානු සාගරය එමෙන්ම ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර සමගියක් පවතින බවට අපි සහතික විය යුතුයි.