අධිවේගයේ කෙරවලපිටිය පිටවීම අසළ ප්‍රශ්න රැසක් !

අධිවේගයේ කෙරවලපිටිය පිටවීම අසළ ප්‍රශ්න රැසක් !

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ (E 02) කෙරවලපිටිය පිටවීමේ ස්ථානයේ සිට ගල්උඩුපිට හන්දිය දක්වා මාර්ග කොටස ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මාර්ගය භාවිතා කරන ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් බලවත් අසීරුතාවන්ට මුහුණදෙන තත්ත්වයක් මතුව තිබේ.

අධිවේගී මාර්ගයට පිවිසෙන හා පිටවන ස්ථාන දෙකක මාර්ගය අබලන්ව සැලකිය යුතු මට්ටමේ වලවල් හෑරී ඇති අතර මාර්ගයේ තවත් ස්ථාන දෙකකද විශාල ප්‍රමාණයේ වලවල් දෙකක් හෑරී කාලයක් ගතව ඇති නමුත් මෙතෙක් එය පිළිසකර කිරීමක්ද සිදුව නැත. එසේම මාර්ගයේ විදුලි පහන් පවා නොමැති බැවින් රාත්‍රී කාලයේ ධාවනය වන වාහන වලවල් වල වැටී අනතුරට පත්වීමේ අවධානමක් පවතී.

දිගින් කිලෝමීටර් 25.8 ක් වන කොළඹ - කටුනායක අධිවේග මාර්ගය ඉදිකරනු ලැබුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පහසුවෙන් ගමන් කිරීම සඳහාය. එම මාර්ගයේ එක් පිටවීමක් ලෙස කෙලවරපිටිය පිටවීම 2019 නොවැම්බර් 18 වනදා විවෘත කෙරුණත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉන් අනතුරුව නිසි නඩත්තුවක් මේ ආශ්‍රිතව සිදුව නොමැති බවයි.

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පරිපාලනය වන මෙම ප්‍රදේශයේ කෙලවරපිටිය පිටවීමේ ස්ථානයේ සිට මීගමුව - කොළඹ මාර්ගයේ ගල්උඩුපිට හන්දිය (ලක්ස්ප්‍රේ හන්දිය ) දක්වා ඇති කිලෝ මීටර් 2.3ක මාර්ගය සහ ඊට යාබදව ඇති අතුරු මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීමත් මාර්ගය දෙපස කැලි කසල බැහැර කිරීමත් හේතුවෙන් අප්‍රසන්න ප්‍රදේශයක් බවටද පත්ව ඇත.

වෙනත් අධිවේග මාර්ගයන් ආශ්‍රිතව පිවිසීමේ සහ පිටවීමේ ස්ථාන උද්‍යාන අලංකරණය හරහා ආකර්ෂණීය ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යන නමුත් මෙම මාර්ගය දෙපස එවැනි නිසි නඩත්තුවක් සිදුනොවීම නිසා දෙපස කැලෑ බිහිවී තිබේ. විවිධ පිරිස් ප්‍රදේශයේ කසල බැහැර කිරීමට යොමුව ඇත්තේද ඒ නිසා බව ප්‍රදේශවාසීන් පවසයි.

තවද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මේ ආසන්නයේ කොම්පෝස්ට් පොහොර අංගනයක් පවත්වාගෙන යාම හේතුවෙන් කෙලවරපිටිය පිටවුම ආසන්නයේ පිරිස්ද එම ස්ථානය ඉදිරිපිටට කාලයක් තිස්සේ කසල බැහැර කිරීමට පුරුදුව ඇත. නමුත් එම කටයුත්ත වැලක්වීමටවත් අදාළ බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මීට අමතරව ගල්උඩුපිට මංසන්ධියේ සිට කෙලවරපිටිය දක්වා දිවෙන ඩියෝන් අමරසේකර මාවත හා අවට අතුරු මාර්ග දෙපස ස්ථාන කිහිපයකමද අනවසර ලෙස මහා පරිමාණ කුණු කසල බැහැරකිරීම සිදුවෙයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින අතර මාර්ගය භාවිතාකරන්නන්ට සහ ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකට ය.

අධිවේගී මාර්ගය දිවෙන පාලම යට ප්‍රදේශය වෙතද විවිධ ආයතන විසින්ද කැලිකසල බැහැරකර තිබෙන අතර ඒවායේ ඇති විවිධ කොටස් එකතු කිරීම සඳහා මත්ලෝලීන් නිතර එහි පැමිණෙන තත්ත්වයක්ද නිර්මාණයවී තිබේ. අධිවේග මාර්ගයේ පාලම යටට ඇතුල්විය නොහැකි ආකාරයට අඛණ්ඩව යෙදු ආරක්‍ෂිත වැටක් නොමැති අතර , දැනට තිබෙන වැටද කඩාදමා පාලම යට වාහන ගාල් කිරීමට පිරිස් යොමුව තිබේ.

{gallery}kerawalapitiya{/gallery}

වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ වත්තල ප්‍රාදේශීය සභාවද මේ කිසිත් නොතකා ප්‍රාදේශීය සභාවට අයත් වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් ද මෙකී පාලම යට පවත්වාගෙන යාමය.

එසේම අධිවේග මාර්ගයට පහළින් ඇති කොටසේ ආරක්‍ෂිත දැල මඟින් සම්පූර්ණ ප්‍රදේශය ආවරණය කර නොතිබීම හේතුවෙන් විශේෂයෙන් රාත්‍රී කාලයේ සොරුන් මංකොල්ලකරුවන් , ගණිකාවන් , මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් ඇතුළු විවිධාකාරයේ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් වල තෝතැන්නක් බවට එම ස්ථානය පත්ව ඇත. එහි විදුලි පහන් නොමැති නිසා එය විෂමාචාර ක්‍රියාවන්ට රුකුලක් වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න