තම දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් !

තම දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් !

“ජාතික තරුණ වේදිකාව" රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කර ගැනීම පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

වැඩසටහනට අදාල පූර්ව සැලැස්ම තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒ පිළිබඳ සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව ද පැවසීය.

එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම, සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මීට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ශණය සහිත ස්ථාන හඳුනා ගනිමින් සංචාරක කලාප ලෙස ඒවා ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නව සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ලබන වසරේදී කටයුතු කරන බවයි.

එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා උපකුලපතිවරුන් දැනුවත් කළ අතර නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දුන්නේය.

උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම පිළිබඳ මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා සංවර්ධනයට වැඩසටහන් සහ පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ සහ විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග , උපකුලපතිවරු, පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න