දශකයකට ආසන්න කාලයකට පසුව ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ නියෝගය සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා 'බීබීසී සිංහල සේවය'ට කියා සිටියේ, තමන්ට වැටහෙන ආකාරයට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු අදහසක් ජනාධිපතිවරයාට නොමැති බවය.
ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාර ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුවේ වාරය අවසාන කර ඇතැයි පවසන ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ඒ සමගම පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයත් ප්‍රකාශයට පත්කර තිබෙන බව පෙන්වා දුන්නේය.
ලබන මැයි 08 වෙනි දින පාර්ලිමේන්තුව යළි කැඳවනු ලබන්නේ කවර වේලාවක ද යන්න ඉක්මනින්ම දැනුම් දෙන බවත් ජනාධිපති ලේකම්වරයා පවසයි.
ඉතිහාසයේ මෙවන් සිදුවීමක් අවසන් වරට 2009 වසරේදී සිදුවූ අතර, සැසිවාරය අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උසස් ඉහළ නිලතල කාරක සභාව හා ආංශික අධීක්ෂණ කාරක සභා 16 හැර අනෙකුත් කාරක සභා අහෝසි වනු ඇත.
''ඉදිරියේදී දේශපාලන අර්බුද රැසකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවනවා'' - දිනේෂ්
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා 'හිරු' ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාව මගින් ඉදිරියේදී දේශපාලන අර්බුද රැසකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, කළුතර ප්‍රදේශයේ අද (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ මෙම ක්‍රියාවලිය ආණ්ඩුවේ වැදගත් ආරම්භයක් බවයි.
එමෙන්ම විගණන සහ අධිකරණ පනත් අහෝසි වන බවත්, ඒවා ඊළඟ සැසිවාරයට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිගේ රාජාසන කතාව !
ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වනවාද නැද්ද යන තීරණයත් සමඟින් පාර්ලිමේන්තුව එළැඹෙන මැයි මස 08 වැනිදා රැස්වන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයකටය.
වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය එදින උත්සවශ්‍රීයෙන් සටහන් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාවෙන් අනතුරුවය.
රාජාසන කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක්ද ඉතිහාසයේ සටහන් වේ.
1964 දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රාජාසන කතාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ එය සිදුවිය.
ඉන් අනපේක්ෂිත ලෙස වසර 04 කට ආසන්න කාලයක් ආණ්ඩු බලය හෙබ වූ එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවිය.
එහෙත් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නකට ඉඩක් නොමැතිබව නීති විශාරදයින් පෙන්වා දෙති.
රජයේ කටයුතුවලට කිසිදු බාධාවක් නැහැ :
මේ අතර නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් රජයේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවය.
පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක කාලයක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට බලය පැවරෙයි.
මේ අතර පසුගිය බදාදා (අප්‍රේල් 11) පදවිවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස ලබන අප්‍රේල් 19 වෙනි දින පාර්ලිමේන්තුව රැස් වූයේ නම් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබිණ.