Language Switcher

V2025

ජලනිගේ සැලෝන් එකත් අයවැය අස්සේ !

ඊයේ (29) අඟහරුවාදාත් තවත් උණුසුම් දවසක්. එක පැත්තකින් පෑවිල්ල නිසා පරිසරයත් උණුසුම්. අනිත් පැත්තෙන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ තියෙන අයවැය කාරක සභා වාද විවාද නිසා දේශපාලන කරලියත් උණුසුම්.

අඟහරුවාද දවසේ පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්වුණේ සෞඛ්‍යය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ගැන. ඒත් ඉතින් මාතෘකා නිදිමත නිසාදෝ ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා නෑ. උදේ වරුවේ මොන මොන රස්තියාදුවේ ගියත් හවසට නිසැකවම පාර්ලිමේන්තු එන්නම ඕන කියලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග හැමෝටම දැනුම් දීලා තිබුණා.

වැය ශීර්ෂයක් ගැන හදිස්සියේ ඡන්දයක් ඉල්ලුවොත් ඡන්දෙ දෙන්න සූදානමින් ළඟපාත ඉන්න කියලයි කියලා තිබුණේ.

සෞඛ්‍යය කොහොම වෙතත් ආගමික කටයුතු බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශ ගැන ඡන්දයක් එයි කියලා හුඟදෙනෙක් හිතන්න නෑ.

ඒ වුණත් දෙමළ ජාතික සන්ධානයේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා බුද්ධශාසන වැය ශීර්ෂය ගැන බෙදීමක් ඉල්ලුවා. මේ නිසා කලබල වුණ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලවක් දෙවක් නැතුව දුරකථන ඇමතුම් දෙන්න ගත්තා. ඒත් දෙයියනේ මන්ත්‍රීවරුන් මොන තරම් කාර්යබහුල ද කියනවා නම් දුරකථනය උත්සන්නවත් ඔවුන්ට ඉස්පාසුවක් තිබිල නෑ...

මේ හින්දා නහුතෙට තද වෙච්ච මංත්‍රීවරු ඉන්න තැන්වලට ගිහිල්ලා, බැඳගෙන එන්න කඹයක් ගෙනත් දියල්ලා කියලා කාර්යාලයේ කොල්ලන්ට කෙල්ලන්ට කෑගැහුවා කියලයි අපිට ආරංචි උනේ...

විවාදයේ දී වෙනදා වගේම සමගි ජන බලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරු, ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කළා. ඔන්න ඔය අතරෙ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මහා අමුතු කතාවක් කිව්වා...

"මේ ආණ්ඩුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වියත් පුරය නිවාස යෝජනා ක්‍රමය යටතේ ගෙවල් දීපු විදිය වැරදියි. ආණ්ඩුව හදපු ගෙවල් මේ මන්ත්‍රීවරුන්ට සින්නක්කර දීලා. හැබැයි ඒකට වියදම් කරලා තියෙන්නෙත් රජයේ මුදල්. මේක මහා විශාල රාජ්‍ය මුදල් අවබාවිතාවක්..." චමින්ද විජේසිරි ඔන්න ඔය විදියට දිගින් දිගටම ආණ්ඩුවට ගහන්න පටන් ගත්තා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සිටියෙ පාර්ලිමේන්තුවේ ඔහුගේ කාර්යාලයේ. මේ කතාව ඇහිච්ච ඔහු විනාඩි දෙකට සභාගැබට ඇවිල්ලා ඊට උත්තර දුන්නා...

"මේ මන්ත්‍රිතුමා කියන්නේ පට්ටපල් බොරු. මන්ත්‍රීවරුන්ට මේ ගෙවල් සින්නක්කර දීලත් නෑ ඒවට ආණ්ඩුවේ මුදල් වියදම් කරලත් නෑ. නිකං බොරුවට පාර්ලිමේන්තුවේ කතා කරලා බොරුව ජනගත කරන්න එපා මන්ත්‍රිතුමා. කරුණු හරියට දැනගෙන කතා කරන්න..." ප්‍රසන්න අවවාදාත්මක ස්වරයෙන් චමින්දට කියද්දි ඔහුත් මෙන්න මෙහෙම උත්තර දුන්නා...

"නෑ නෑ... මම කිව්වේ මන්ත්‍රීවරුන් රක්ෂණයෙන් සල්ලි අරගෙන මේවට ගෙව්වා කියලායි. රක්ෂණය හරහායි ගෙවීම් කරල තියෙන්නෙ.." චමින්ද උත්තර දුන්නා.

මේ ගෙවල් මොනවද කියලා අපිටත් පැහැදිලි නෑ... පහුගිය දවස්වල අරගලය හේතුවෙන් මන්ත්‍රීවරුන් රැසකටම නිවාස අහිමි උනා නේ... අන්න ඒ වෙනුවට කොළඹ මෙයාලට ඉන්න ලබා දෙන නිවාස තමයි මේ...

කොහොම වුණත් ලස්සනම කතාව එළියට ආවේ ඊට පස්සේ ප්‍රසන්න කරපු හෙළිදරව්වත් එක්ක...

" ඔබතුමාට මේ ගෙවල් ගැන මෙච්චර උනන්දුවක් ආවෙ කොහොමද කියලා මම හොයල බැලුවා... පහුගිය දවස්වල මේ මන්ත්‍රීතුමා ගිහින් තියෙනවා UDA එකට... ගිහින් අහල තියෙනවා අපටත් ගෙයක් ගන්න බැරිද කියලා. එතන හිටපු නිලධාරියෙක් කිව්වලු ප්‍රසන්න ඇමතිතුමා ඕකේ කරනවා නම් අපට ප්‍රශ්නයක් නෑ කියලා... එදා ගිහින් එතනින් ගෙයක් ගන්න ට්‍රයි කරපු මන්ත්‍රිතුමා තමයි අද ඇවිල්ල මෙතන මේ විදිහට කතා කරන්නේ..."

කොහොම වුණත් මේ වගේ වැඩ කාටත් පැහැදිලි විනිවිද පෙනෙන ගණුදෙනුවලින් සිදුවෙනව නම් තමයි හොඳ...

මේ විවාදය හොඳටම උණුසුම් වුණේ හවස්වරුවේ. විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එල්ලවුණු චෝදනා වැඩිවෙනකොට ආණ්ඩුවෙත් මන්ත්‍රීවරු සංවිධානය වෙලා උත්තර දෙන්න පටන් ගත්තා. කවුරුත් එකතුවෙලා වට කරලා ගහන්න පටන් ගත්තෙ සජිත්ට. විවාදයට සංස්කෘතික අමාත්‍යංශයේ වැය ශීර්ෂයත් අදාල නිසා බැටින් විකට් එකක ප්ලේ කරන කලූලා සනත්ල වගේ ආන්ඩුවේ මන්ත්‍රීවරු එක දිගට පහර දුන්නා....

සජිත් ඇමති වෙලා හිටපු කාලේ ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ යොදවලා සජිත්ගෙ තාත්තට අයත්ව තිබුණ අඹන්පොළ අඹ වත්තෙ වැඩ කරපු හැටි සමහරු කිව්වා...

ඒ විතරක්ද... නෑ... ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ සජිත් ගේ බිරිඳ ජලනි ට අයත් beauty සැලූන් එකක වැඩට යොදවපු හැටි ගැනත් කියවුනා. ඒ beauty salon එක තිබිල තියෙන්නා තියෙන්නෙ ෂැන්ග්‍රිලා හෝටලයේ.

කොහොමින් කොහොම හරි මේ දෙපැත්තෙ වැඩවලට සේවකයෝ යවලා ඒගොල්ලො නඩත්තු කරන්න ඉංජිනේරු සංස්ථාව යොදවපු මුදල රුපියල් මිලියන 42ට අධිකයි කියලා තමයි කියවුනේ...

දේශපාලන වාර්තාකරු