ධීවරයින්ට භූමිතෙල් සැපයීම විධිමත්ව සිදුකිරීමට රජයෙන් පියවර !

ධීවරයින්ට භූමිතෙල් සැපයීම විධිමත්ව සිදුකිරීමට රජයෙන් පියවර !

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇත.

ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී තිබෙන බව ද අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න