Language Switcher

V2025

සන්නද්ධ අරගලයක් ගැන : ෆොනී ගිනි පිඹියි !

ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා පවසයි.

පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මේ අදහස් දක්වා ඇත්තේ youtube නාලිකාවක් සමඟ සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින්ය.

ෆොනී කිව්වට ජනතාව එන්නේ නෑ !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ වගකිව යුතු දේශපාලන නියෝජිතයෙක් ලෙස මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හෙළාදැකිය යුතු බවය.

දේශපාලන ජීවිතය ආරම්භ කළ මොහොතේ පටන්ම ෆොන්සේකා මන්ත්‍රීවරයා සිය ශික්ෂණයක් නොමැති කට හේතුවෙන් බොහෝ අකරතැබ්බ වලට මුහුණදුන් බවත් විචාරකයන් සිහිපත් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ෆොන්සේකා මන්ත්‍රීවරයා කියන ආකාරයේ සන්නද්ධ නැගිටීමක් තරුණයන් වෙතින් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ බංකොලොත් වූ රට මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ සියල්ල සිදුවන්නේ ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටියදී බවද පවසයි.

පෝලිම් යුගය අවසන් කළ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් මේ වන විට පැහැදිළි සහ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ පසුබිමේ රට අරාජික කර ජීවිත අවධානමේ දමා ගැනීමට තරම් තරුණ පරපුර අපරිණත නොවනු ඇති බවත් විචාරක මතය වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල මිස ආණ්ඩු පෙරළීමක් වෙනුවෙන් කිසිඳු ජනසහභාගීත්වයක් නොලැබෙනු ඇති නමුත් කුඩා කුඩා දේශපාලන කල්ලි කිහිපයක් ගෝඨාභය ජනාධිපතිගේ පසුගිය පළයාමෙන් නොමගගොස් අමාරුවේ වැටීමේ අවධානම ප්‍රතික්ෂේප නොකරන බවද විචාරකයන් සඳහන් කරයි.