අසූචි පොහොර එවූ චීන සමාගම අසාධූ ලේඛනයට : කෝටි 138 පාඩුවට නඩු !

අසූචි පොහොර එවූ චීන සමාගම අසාධූ ලේඛනයට : කෝටි 138 පාඩුවට නඩු !

ආන්දෝලනාත්මක චීන පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් එකසිය තිස්අට කෝටි විසි ලක්ෂයක් පාඩුවී ඇති බව හෙළිකරන විගණකාධිපතිවරයා අදාළ ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට නඩු පවරා එම පාඩුව පියවාගෙන චීන කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ලංකාව තුළ අසාධූ ලේඛනගත කරන්නැයි නිර්දේශ කර තිබේ.

පසුගිය මහ කන්නයේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාඕ සමාගමෙන් ආනයනය කිරීමේ ගනුදෙනුව පිළිබඳ සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගණකාධිපතිවරයා මෙම නිර්දේශය සිදුකර ඇත.

රසායනික පොහොර රට තුළ තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය රජය චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බැවින් ශ්‍රී ලංකාවට නොගැළපෙන පොහොර බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති අයුරු විගණනය වාර්තාව පෙන්වා දෙයි.

අනතුරුව ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර, ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් 75%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මෙම ගනුදෙනුව හරහා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.

lankasara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න