Language Switcher

V2025

සජිත් අගමැති ධූරය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වෙයි !

අරගලය අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිදුකළ ආරාධනය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වී ඇත.

ඒ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සංශෝධනය කළ හේතුව දක්වා තිබේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , "තමන්ට අගමැති ධූරය බාරගන්න ආරාධනා කොට එම කණ්ඩායම බලාපොරොත්තු වුනේ දින කිහිපයකින් පසු විශ්වාසභංගයක් ගෙන විත් තම දේශපාලන ජීවිතය අවසන් කර දැමීම" බවය.

තමන් මේ බව තේරුම් නොගැනීමට තරම් දේශපාලනය අපරිණත අයෙකු නොවන බවත් එවන් ලොසිංජර වලට තමන් නොරැවටෙන බවත් විපක්ෂ නායකවරයා පවසයි .

ආණ්ඩුවට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසට බවත් ඔහු පවසයි .

පුරවැසියන් විසින් දියත් කළ අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බවත් ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින බවද විපක්ෂනායකවරයා තව දුරටත් කියා ඇත .

හොරු එක්ක හිටගන්න බෑ !

කෙසේ වුවත් මීට පෙර විපක්ෂ නායකවරයා පවසා සිටියේ හොරු සමග හිටගන්න ඇති බලවත් අකමැත්ත නිසා අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවය.

පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගල නායිකාවක් ලෙස පෙනීසිටි රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ද ඒ බව තහවුරු කළාය.

කෙසේ වුවත් මේ වන විට එකී ස්ථාවරය සංශෝධනය වී තිබේ.

මේ හමුවේ ඉතිරිවන ප්‍රශ්නය නම් , අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට සූදානම් වන බව දැනගෙන තමන්ද අගමැති ධූරය ලබාගන්නට සූදානම් බව දැනුම්දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නියෝජිතයන් යවනු ලැබුවේ, විශ්වාසභංගයෙන් පරාජය කිරීමේ සූදානම ගැන නොදැනද යන්නයි.