Language Switcher

V2025

රාජ්‍ය ඇමැතිවරු වැටුප් සහ වරප්‍රසාද අත්හරිති !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා වැටුප් සහ වරප්‍රසාද අවශ්‍ය නොවන බව අද (08) දිවරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පවසති.

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යභාරය වී ඇති බවත් ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ආණ්ඩුවේ වගකීම් දරමින් රේඛීය අමාත්‍යාංශ වෙත උපරිම සහායෝගයක් දැක්වීම තම අපේක්ෂාව බවත් ඔවුන් පවසයි.

මෙහිදී අදහස් දැක්වූ,,

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න :

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනව අනුව රාජ්‍ය වියදම් අඩු කිරීම වෙනුවෙන් අප සියළු රාජ්‍ය ඇමැතිවරුන් වැටුප් ලබා නොගැනීමට තීරණය කළා. ජනතාව මේ වේලාවේ සිටින තත්ත්වය අප හොඳින් තේරුම් ගෙන තිබෙනවා. ජනතාව මේ පීඩාවෙන් ගොඩගැනීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. කැබිනට් ඇමැතිවරුන් පවා අද වැටුප් ලබා නොගෙනයි කටයුතු කරමින් ඉන්නේ.‍ එක් කැබිනට් ඇමැතිවරයෙක්ට විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන්න සිදුවෙනවා. අපි මේ තනතුරු පවා ගත්තේ ඔවුන්ට සහායෝගය දක්වමින් ජනතාවට කඩිනම් සහන ලබාදීමටයි.

 ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර :

මේ වෙලාවෙදි ජනාධිපතිවරයාගෙත්, ඇගමැතිවරයාගෙත් බලාපොරොත්තුව රට ගොඩනැගීමයි. වර්තමානයේ ආර්ථික වශයෙන් වැටී තිබෙන රට ගොඩනැගීම අප සියලුම දෙනාටම වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශය, විෂය පථය කුමක්ද කියන එක පසෙකලා තමන්ට ලැබී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කළ යුතුයි. කවුරුන් හෝ හිතන්න පුළුවන් මේ හරහා විශාල වැය බරක් දරන්න වෙයි කියලා. ඒ නිසා අපිත් යම්කිසි සාධාරණයක් කරන්න ඕන. අපි ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කළා ඇමැති වැටුප නොගෙන මන්ත්‍රී වැටුප පමණක් ලබාගෙන ඉදිරියට යන්න. මේ වෙලාවේ අපේ පැත්තෙන් කළ හැකි යුතුකමක්ම රට වෙනුවෙන් කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කිසිදු කටයුත්තක් කරලා නොමැති බව විශේෂයෙන්ම සදහන් කළ යුතුයි.

ආයෝජකයන් පැමිණීමට, ණය ආධාර ලබා ගැනීමට ශක්තිමත් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. ඊට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයක්, රාජ්‍ය ඇමැතිවරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අවශ්‍යයි. ආණ්ඩුවේ ශක්තිමත්භාවය රදා පවතින්නේ ඒ අනුවයි. මේ ගත් තීරණය නිසා අයිඑම්එෆ් වැඩසටහනටත් යම් වාසිදායක තත්ත්වයක් තිබෙනවා. යම් ඉලක්කයක් අනුව සියලුම දෙනා කැපවීමෙන් කටයුතු කරන අතරම ජනාධිපතිවරයාට අපේ ප්‍රශංසාවත් මේ වෙලාවේ හිමි වෙනවා.

 ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක :

වරප්‍රසාද තිබුණත් නැතත් පසුගිය කාලයේ වැඩ කළා. ඒ වගේම මේ රාජ්‍ය අමාත්‍යාංශය ආභරණයක් කර කරගන්න වුවමනාවක් නැහැ. එදත් වැඩ කළා. අදත් වැඩ කරනවා. එනිසා වරප්‍රසාද ගන්න, වාහන පසුපස, ඉන්ධන පසුපස දුවන්නත් නෙමෙයි මේ අමාත්‍යාංශය භාර ගත්තේ. අපි ජනතාවට සේවයක් කරන්න ග්‍රාමීය අමාත්‍යාංශය භාර ගත්තා. මේක ගමේ ජනතාවත් එක්ක වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. නව ධූරය හරහා ජනතාවට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර :

පසුගිය කාලයේ රට දේශපාලන වශයෙන් අර්බුදයකට ලක්ව තිබුණා. ඒ වෙලාවේ මේ රට කවුරුත් භාර ගත්තෙ නැහැ. එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැති ධූරය භාර ගත්තා. පසුව නැවත ජනාධිපති ධූරයත් භාර ගත්තා. පාර්ලිමේන්තුව තුළින් අපේ සහාය ශක්තිය එතුමාට ලබා දුන්නා. ජනාධිපතිවරයාගේ සහායට ඉන්න රාජ්‍ය ඇමැතිවරුන් පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වැඩ කරන්න අපට අවකාශය ලබා දී තිබෙනවා. එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න මේ තනතුරු භාර ගත්තා. පාර්ලිමේන්තුවේ බෙදී ඉදලා තව තවත් රට වට්ටන්න බැහැ. පාර්ලිමේන්තුවට අපිව එවලා තියෙන්නෙ රට කඩා වට්ටවන්න නෙමෙයි. වැඩ කරන්න එවපු අය බේද වෙලා, සන්ධාන ගහලා වැඩක් නැහැ. සන්ධාන අවශ්‍ය මැතිවරණයකදි පමණයි.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න අවශ්‍ය බව අපි දිගින් දිගටම කිව්වා. අමාත්‍යාංශය ලොකු ද පොඩි ද කියලා වැඩක් නැහැ. දෙන දෙයින් වැඩක් කළ යුතුයි. මට ලබාදුන් වගකීම විනිවිදභාවයකින් යුක්තව වැඩ කරනවා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු :

ජනාධිපතිවරයාගේ තීන්දුව පරිදි රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් මේ දිවුරුම් දුන්නේ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි. එතුමා ජනාධිපති කළේ අපි විසින්. අපේ ආශිර්වාදය ඇතුවයි එතුමා ජනාධිපති ධූරය භාර ගත්තේ. එහිදී අපි කොන්දේසි විරහිතව සහයෝගය දිය යුතුව තිබෙනවා. රාජ්‍ය ඇමැතිවරු වශයෙන් අපි විශේෂ වරප්‍රසාද ලබා ගන්නේ නැතිව මන්ත්‍රී වැටුප පමණක් ගන්න අප තීන්දු තීරණ අරන් තිබෙනවා. ඒක රටට කරන සහනයක්. අපි කිහිප දෙනෙක් නෙමෙයි අපි සියලුම දෙනාම ඒ තීන්දුව අරන් තිබෙනවා. වැටී තිබෙන තත්ත්වයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට අපි සියයට සියයක් කොන්දේසි විරහිතව සහාය දෙනවා. වරප්‍රසාද අරගෙන කැරලි ගහන්න අපට අවශ්‍ය නැහැ. අනෙක් මන්ත්‍රීවරුත් අපට සහායෝගය දෙයි කියලා විශ්වාස කරනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත :

මේ මොහොතේ රටක් විදිහට එකතු විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ කාලයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට රටේ සියලු දිසාපති, ප්‍රාදේශීය කාර්යාල එකතු කරලා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරලා රට ගොඩනගන්න අවශ්‍යයි. වරප්‍රසාද මත නෙමෙයි මේ තීන්දු තීරණ ගත්තෙ.

ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ශක්තියක් ලැබුණොත් තමයි රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන්. මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩනගන වැඩපිළිවෙළට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට කරන්න පුළුවන් උපරිම දේ කරනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ :

අපි මේ වෙලාවේ රට පවතින තත්ත්වය අනුව ආර්ථික අරගලයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කරන්න, ජනතාව දිනවන්න ඇප කැප වෙලා කටයුතු කරනවා. මේ තනතුරින් කිසිම වැටුපක් වරප්‍රසාදයක් ගන්නේ නැහැ. නමුත් රට දුවන්න, රාජ්‍යය පවතින්න, රාජ්‍යෙය් ආරක්ෂාව අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප සියලුම දෙනාම ඇප කැප වෙනවා. රටේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න සියලුම දෙනාම එකතු වෙනවා. සියලුම දෙනාගෙන් ආයාචනය කරනවා පක්ෂ පාට බේදයෙන් තොරව රට ගොඩනගන්න එකතු වෙන්න කියලා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ :

රාජ්‍ය ඇමැතිවරුන් හැටියට අපි තීන්දු කළා වැටුප් නොගන සේවාව කරන්න. අපි සියලුදෙනා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. රටේ ඇතිව තිබෙන දුෂ්කරතාව කඩිනමින් යථා තත්ත්වය පත් කිරිමට අප කැපවීමෙන් කටයුතු කරනවා.